ඉගෙන ගත්තට රස්සාවක් නැද්ද? – මොකක්ද හේතුව? 

දිල්මිණී අබේරත්න විසිනි

බැලූ බැල්මට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. ඒත් විරැකියාව තරුණ ප්‍රජාවට වගේම ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන්ට බලපාන්නේ වෙනත් විදිහකට.  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම දත්තවලට අනුව 2026 අවුරුද්දේ පළමුවැනි කාර්තුවේ 3.7% වුණු විරැකියා අනුපාතය දෙවැනි කාර්තුව වෙද්දී 4% දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ කාලය තුළ ශ්‍රම බලකායට අලුතින් පිරිස් එක්වීමේ අනුපාතය 50% තරම් ඉහළ ගිහින් තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ වැඩි පිරිසක් ශ්‍රම බලකායට පිවිසෙමින් හිටියත් රැකියා අපේක්‍ෂා කරන සියලු දෙනාටම රැකියා ලබා දිය හැකි පරිදි රැකියා අවස්ථා ප්‍රමාණවත් වේගයකින් වර්ධනය වෙන්නේ නෑ කියන කාරණය. කොහොම වුනත් වයස සහ අධ්‍යාපන මට්ටම අනුව විරැකියාව පිළිබඳව හොයලා බලද්දිී කැපී පෙනෙන කරුණු ගණනාවක් අනාවරණය වෙනවා. 

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව (2026) 

2026 අවුරුද්දේ දෙවන කාර්තුවේදි අපොස උසස් පෙළ හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත පුද්ගලයන් අතර විරැකියා අනුපාතය 6.7%ක්. අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිත පුද්ගලයන් අතර විරැකියාව 5.0%ක්. ඊටත් වඩා අඩු අධ්‍යාපන මට්ටමක් සහිත පුද්ගලයන් අතර විරැකියා අනුපාතය 2.0%ක්. මේ ගැටළුව කාන්තාවන් අතර විශේෂයෙන් කැපී පේනවා. මොකද උසස් පෙළ හෝ ඊට ඉහළ සුදුසුකම් සහිත කාන්තාවන් අතර විරැකියා අනුපාතය 9.6%ක්. හැබැයි එම අධ්‍යාපන මට්ටමම සහිත පිරිමින් අතර එම විරැකියා අනුපාතය 3.9ක්. ඇත්තම කිව්වොත් මේක සුදුසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලුවක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. 

ඉගෙන ගත්ත අය අතරේ විරැකියාව වැඩිද? 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑත කාලීන විශ්ලේෂණයකින් තහවුරු කරගෙන තියෙනවා, ශ්‍රී ලංකාවේ ද්විතියික අධ්‍යාපනය ලබන වයස අවුරුදු 15 – 24ත් අතර තරුණ තරුණියන් අතර විරැකියාව 43%ක්. ඒ විශ්ලේෂණයට අනුව දකුණු ආසියානු කලාපයේ ද්විතියික අධ්‍යාපනය ලබන පිරිස් අතර වැඩිම  විරැකියාවක් සහිත රට ශ්‍රී ලංකාව. සුළු රැකියාවක් ලබා ගන්න පවා පොරකාලා පෝලිමේ එන ඉන්දියාවේ පවා මේ වයස් කාණ්ඩයේ විරැකියාව 42% විදිහට ලංකාවට වඩා අඩුවෙන් වාර්තා වුණා. මෙතන සරල යථාර්ථය තමයි අධ්‍යාපනයෙන් ඉහලට ගිය පලියටම සේවා නියුක්තිය වැඩිවෙලා නෑ.

2025 වසරේ හතරවන කාර්තුවේදී උසස් පෙළ සහ ඊට වැඩි සුදුසුකම් ඇති අය අතර විරැකියාව 6.0%ක් වෙද්දි සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අය අතරේ විරැකියාව 5.5% සහ ඊටත් වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති අය අතර විරැකියාව 2.6%ක්. උසස් පෙළ සහ ඊට වැඩි සුදුසුකම් ඇති කාණ්ඩයේ විරැකියාව ඇතුලේ කාන්තාවන් අතර, විරැකියාව 8.3%ක් වෙද්දි පුරුෂයන් අතර විරැකියාව 3.9%ක්.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව (2025) 

මේ පරස්පරය තවත් හොඳින් පැහැදිලි වෙන තැනක් තියෙනවා. ඒ 2026 දෙවන කාර්තුවේදී, වයස අවුරුදු 15-24 අතර විරැකියාව 17.8%ක් වීමත් ඒ අගය ජාතික විරැකියා අනුපාතය වගේ හතර ගුණයකටත් වඩා වැඩිවීමත් එක්ක. ඒ කණ්ඩායමේ කාන්තා විරැකියාව 22.4% ක් වෙද්දි පුරුෂයන් අතර විරැකියාව 15.5%යි. 

මෙය රැකියා හිඟයක්ද? නැත්නම් සුදුසු මට්ටමේ රැකියා හිඟයක්ද?  

ශ්‍රී ලංකාවේ තියෙන විරැකියා ගැටලුව ගැන කතා කරද්දි පුරප්පාඩු නොමැති වීම ගැනම කතා කරලා මදි. පුද්ගලයින් සතු කුසලතා සහ සේවා යෝජකයින් විසින් ඉල්ලා සිටින කුසලතා අතර නොගැලපීමක් තියෙනවා.  

කොච්චර ඉගෙනගෙන තිබුණත් රැකියා වෙළඳපළින් ඉල්ලන කුසලතා ඒ අධ්‍යාපනය තුළින් සම්පූර්ණ වෙලා නොතිබෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය රැකියා ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්කිරීමට ප්‍රධාන බාධාවක් විදියට ආසියානු සංවර්ධන බැංකුව හඳුනාගෙන තියෙනවා. මේකෙන් ඇඟවෙන්නේ සේව්‍ය – සේවක දෙපිරිසටම මේ ගැටලුව බලපාන බව කිව්වොත් නිවැරදියි. එනම්, සේවා යෝජකයින්ට තමන්ට අවශ්‍ය කුසලතා සහිත පුද්ගලයින් සොයා ගැනීමට අපහසු වෙනවා වගේම, උගත් සේවකයින්ට තම තමන්ගේ සුදුසුකම්වලට ගැලපෙන රැකියා සොයා ගැනීමට අපහසු තත්ත්වයක් පවතිනවා. 

ශ්‍රම වෙළඳපළේ ගැටළු දෙස සේවා යෝජකයාගේ කෝණයෙන්  

ලෝක බැංකුව ඇස්තමේන්තුවලට අනුව ඉදිරි වසර 10ක කාලය තුළ ශ්‍රී ලාංකික තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රම බලකායට ඇතුළු වෙනවා. කොහොම වුණත්, වත්මන් ප්‍රවණතා යටතේ, එම කාලය තුළ ආර්ථිකයට විධිමත් රැකියා 300,000ක් විතරයි නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්නේ. මේ පරතරය අධ්‍යාපන ප්‍රතිපත්තිය හරහා පමණක් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. 

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සැලකිය යුතු ලෙස ඵලදායී රැකියා අවස්ථා ජනනය කළ හැකි ආර්ථිකයක්. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලික ව්‍යාපාරවලට ආයෝජනය කිරීමට, වර්ධනය වීමට සහ කුලියට ගැනීමට හැකි අංශ පුළුල් කිරීම ගැන. ලෝක බැංකුවේ අලුත්ම ශ්‍රී ලංකා සංවර්ධන ප්‍රගතිය ගැන වාර්තාවක මීට සමාන කරුණක් ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයට කලින් තිබුණු මට්ටමට ළඟා වෙමින් තිබුණත් ශ්‍රම වෙළඳපොළ ප්‍රතිඵල පුළුල් ප්‍රකෘතිමත් වීමකට වඩා පසුගාමී තත්ත්වයකයි තියෙන්නේ. ආර්ථික වර්ධනයේ ඊළඟ අදියරට ළඟා වෙන්න නම් වැඩියෙන් පෞද්ගලික ආයෝජන, ශක්තිමත් අපනයන සහ ඉහළ ඵලදායිතාවයක් අවශ්‍ය වෙනවා. 

එබැවින්, ආර්ථික වර්ධනය තක්සේරු කළ යුත්තේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණ වැඩි වෙනවද කියන එක විතරක් නොවේ. එම වර්ධනය මගින් ජනනය වන රැකියා ප්‍රමාණයේ ගුණාත්මකභාවය සහ ප්‍රමාණයත්  වැදගත්. 

පුද්ගලික අංශයේ වැඳගත්කම

ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ රැකියා වෙළඳපළ සම්බන්ධයෙන්ම වැඩි විශ්වාසයක් තිබ්බේ රාජ්‍ය අංශය ගැන. සරලවම කිව්වොත්,  මිනිස්සු කතාවටත් කියන්නේ හොයාගන්නවා හොයාගන්න ඕනේ රජයේ රස්සාවක් තමයි, පැන්ෂන් එකක් තියෙනවානේ කියලා. හැබැයි දැන් මේ තියෙන ආර්ථිකයත් එක්ක සමාජය වෙනස් වෙලා. රැකියා වෙළඳපළේ තියෙන රැකියා හිඟය සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීමේ හැකියාව රාජ්‍ය අංශයට නැහැ. තිබුණත් එහෙම කළ යුතුත් නෑ. මොකද එතකොට රජය වෙනුවෙන් ඒ බදු බර දරන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය ජනතාවට. ඒකෙන් උද්ධමනය, ජීවන මට්ටම වගේ බොහෝ සාධක කම්පනයට පත් වෙනවා.  

මේ නිසා රැකියා වෙළඳපොළ තුළ පෞද්ගලික අංශයට, පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරලා දෙන්න ඕන. මොකද ඔවුන් තමයි අනාගතයේදී රැකියා නිර්මාණය කරන්නේ.  එතකොට ඔවුන්ටත් පුළුවන් ආර්ථිකයට දායක වෙන්න. මේ සදහා ආර්ථිකය තුළ පවතින දැඩි සීමාකාරී නීතිරීති ඉවත් කරලා ව්‍යාපාර කරගෙන යෑමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්න ඕන වගේම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පුරෝකථනය කළ හැකි ආර්ථික ප්‍රතිපත්ති පවත්වා ගැනීම අවසානයේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරන්න ඕන. 

හැකියාවට රැකියාවක් 

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලෝක බැංකුව සිදු කළ කටයුතු මගින් විශ්වවිද්‍යාල සහ කර්මාන්ත අතර ශක්තිමත් සබඳතා, STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත) අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා කුසලතා, මෘදු කුසලතා (soft skills) සහ රැකියාව හා බැඳුණු ඉගෙනුම් ක්‍රියාවලීන්හි වැදගත්කම අවධාරණය කරනවා. ඔවුන්ගේ AHEAD වැඩසටහන මගින් සිසුන් 120,000කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලැබුණා වගේම 2017 සහ 2023 අතර කාලය තුළ ඊට සම්බන්ධ ආයතනවල STEM විෂයයන් සඳහා ලියාපදිංචි වීම වාර්ෂිකව 10% කින් පමණ ඉහළ ගියා.  

ආසියානු සංවර්ධන බැංකුව (ADB) මේ වන විට ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පද්ධතියේ පුළුල් පරිවර්තනයක් සඳහා සහාය ලබා දෙමින් සිටී. කර්මාන්ත අවශ්‍යතාවලට වඩාත් අනුකූල වන පරිදි කුසලතා පුහුණුව සකස් කිරීම සහ අධ්‍යාපනයේ සිට රැකියාව දක්වා වන මාවත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඩොලර් මිලියන 100 ක වැඩසටහනක් 2026 සැප්තැම්බර් මාසයේදී අනුමත කළා. මේ වැඩසටහන මගින් තරුණ තරුණියන් 100,000කට අධික සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Stay ahead of Sri Lanka's reform agenda