ශ්‍රී ලංකාවට ආයෝජකයෝ එන්නේ බදු සහන දුන්නොත් විතරද?
ඇඩ්වොකාටා ආයතනය විසිනි
ආර්ථික වර්ධනය ශක්තිමත් කරලා, වැඩි වැඩියෙන් රැකියා නිර්මාණය කරලා ලංකාවෙන් පිටරටවලට කරන අපනයන පුළුල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලංකාවට, විදේශ ආයෝජන ගෙන්වා ගන්නවා කියන්නේ තවත් කල් දාන්න පුළුවන් වැඩක් නම් නෙවේ, පුළුවන් තරම් ඉක්මණට කරන්න ඕන වැඩක්. ඒත් එහෙම වුණා කියලා බදු සහන මත්තෙම වැඩි වැඩියෙන් යැපෙන එක ඒ තරම් සුදුසු නෑ. අන්න ඒ නිසයි අපි ඒ ගැන ආයෙමත් සලකා බලන්න ඕනේ. බදු සහන දීලා සමහර ආයෝජන දිරිමත් කරන්න පුළුවන්. ඒත් ඒ නිසා රජයට මූල්‍ය පිරිවැයක් දරන්න වෙනවා. ඒ විතරක්ද? ව්‍යාපාර අතරත් නොයෙක් විෂමතා ඇති වෙනවා. අනික බදු සහන දීලා රජය ලබා ගන්න බලාපොරොත්තු වෙන ප්රතිලාභ ඒ විදිහටම ලැබෙයි කියලා සහතික වෙන්නත් බෑ.
බදු සහන දෙන්නේ රජයේ සේවා හෝ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් යොදවන්න තියෙන අරමුදල්වලින්. ඒ නිසා බදු සහන දෙනවා කියන්නෙම ජනතාවට දෙන රජයේ සේවාවන්ට, පාරවල්, පාසල් වගේ දේවල් හදන්න තියෙන සල්ලි කප්පාදු වෙන එක. කොහොමත් බදු සහන දෙන්නේ සමහර තෝරාගත් ව්‍යාපාරවලට. මෙතන තියෙන ගැටළුව වෙන්නේ බදු සහන දුන්නාම කොච්චර ප්‍රමාණයක් ආයෝජන ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියන එක නෙවෙයි. ඔය කියන ආයෝජනය, බදු සහන නැතුවත් ලංකාවට ඒවිද සහ ඒ ආයෝජනය වෙනුවෙන් සහනයක් දීලා රජයට අහිමි වුණු බදු ආදායමට වඩා ලොකු ප්‍රතිලාභයක් ආපහු ලැබුණද කියන කාරණය මතයි.
ත්‍යාගශීලී ආයෝජන දිරිගැන්වීම්වල දිගුකාලීන පිරිවැය
උපායමාර්ගික ආයෝජන තවමත් ඔවුන්ගේ බදු ප්රතිලාභ සාධාරණීකරණය කරන්න ඕන
කොළඹ වරාය නගරය මේ කියන ගැටළු නිරූපණය කරනවා. දැනටමත් කොළඹ මූල්‍ය දිස්ත්‍රික්කවලට සමීප පිහිටා තිබීම, නවීන යටිතල පහසුකම්, සැලසුම් කළ ගුවන් තොටුපළ අධිවේගී මාර්ග සම්බන්ධතාවය සහ වඩාත් නම්‍යශීලී ශ්‍රම රාමුවක් පැවතීම ඇතුළු සැලකිය යුතු ස්ථානීය, යටිතල පහසුකම් සහ නියාමන වාසි භුක්ති විඳිනවා. මේවාට අමතරව අමතර බදු සහනවල අවශ්‍යතාවක් තියෙනවද සහ ඒක සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්න වෙනවා.
වරාය පර්යන්ත ක්‍රියාකරුවන්ට ලබා දෙන බදු සහන සම්බන්ධයෙනුත් මේ වගේම ගැටලු ඇති වෙනවා. ස්වාභාවිකවම නැගෙනහිර සහ බටහිර යා කරන ප්‍රධාන නාවික මාර්ග ඔස්සේ පිහිටා තිබීමම, ශ්‍රී ලංකාව සතු විශිෂ්ට ආර්ථික වාසියක්. කොළඹ වරාය මේ වෙනකොට අවුරුදු සියයකට වැඩි කාලයක් තිස්සේ වැදගත් නාවික මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ වගේ වටපිටාවක, වරාය පර්යන්ත ක්‍රියාකරුවන්ට අවුරුදු 25ක් යනකම් බදු නිදහස් කාලසීමාවන් ලබා දීමෙන් අපට වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ අපි ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම උපරිම විදිහට ප්‍රයෝජනයට ගන්නවද? එහෙමත් නැත්නම් බදු ප්රතිලාභ විදිහට අපි පිටට ලබා දෙන වාසියේ ප්‍රමාණය ඊට වැඩිද කියන කාරණය.

බටහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කරන කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත සීමාසහිත සමාගමට (CWIT), උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ රජයකින් රජයකට ලබා දෙන ගිවිසුමක් හරහා වසර 25ක ආයතනික ආදායම් බදු නිදහස් කිරීමක් දුන්නේ විවෘත ටෙන්ඩරයක් පවා නැතිව. දකුණු පර්යන්තය ක්‍රියාත්මක කරන සහ තරඟකාරී ටෙන්ඩරයකින් තෝරා ගන්නා ලද කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයටත් (CICT) අවුරුදු 25ක බදු නිවාඩුව ලැබුණා. ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන කටයුතුවලට පෞද්ගලික ආයෝජන වගේම විශේෂඥතාව වැදගත්.
කොහොම වුණත්, මේ සමාගම්වලට ඒ වගේ දීර්ඝ කාලයක් වෙනුවෙන් දිගු බදු නිවාඩු ලබා දීම යුක්ති සහගතද නැද්ද කියලා රජය සලකා බලන්න ඕන. අලුත් වෙන වරාය මෙහෙයුම් කටයුතුවලින් විශාල වශයෙන් රස්සා නිර්මාණයක් වෙන්නෙත් නෑ. මොකද හුඟක් වැඩපළ සිද්ධ වෙන්නේ ඉහළ මට්ටමේ ස්වයංක්‍රීයකරණ ක්‍රමයකට.
ආයෝජනයක් විශාල වුණ පළියටම ඒකට බදු සහන දෙන්න වටින්නේ නෑ. ඊට කලින් රජය තහවුරු කරන්න ඕන ඒ ආයෝජනයෙන් ජනනය කරන අමතර ප්රතිලාභ මොනවාද සහ ඒ තුළ තියෙන මූල්‍ය පිරිවැය සාධාරණීකරණය කළ හැකි එකක්ද කියලා.
ආයෝජන දිරිගැන්වීම්වල දිගුකාලීන පිරිවැය
කලින් තිබුණු පාලන කාලවලදි ලබා දුන්න දිරිගැන්වීම් මගින්, ප්රතිලාභ ලබන සමාගම්වලට දිගුකාලීන වාසි නිර්මාණය වෙන්න පුළුවන්. ආයෝජන මණ්ඩල පනතේ 17 වැනි වගන්තිය යටතේ ලබා දීලා තියෙන බදු රහිත කාලසීමාවන් සහ අනතුරුව දිගු කාලයක් පුරා පවතින සහනදායී බදු අනුපාත ඇතුළත් දිගුකාලීන සහන මේකට හොඳ උදාහරණයක්.
ඒවායේ මූල්‍ය ප්රකාශනවලට අනුව, Overseas Realty (Ceylon) PLC, ඩයලොග් ඇක්ෂියාටා පුද්ගලික සමාගම සහ මොබිටෙල් සමාගම කියන සමාගම් පිළිවෙලින් 2005, 1997 සහ 1994 වසරවලදී අත්සන් කරපු ආයෝජන මණ්ඩල ගිවිසුම් යටතේ අවුරුදු 15ක බදු නිදහස් කිරීම් ලබා ගෙන තියෙනවා. මෙම කාලසීමාවන් පිළිවෙලින් 2020, 2012 සහ 2009 වසරවලදී අවසන් වුණාට පස්සේ, ඒ සමාගම් තුනම තවත් අවුරුදු 15ක කාලයක් වෙනුවෙන් තමන්ගේ පිරිවැටුම මත 2%ක බද්දක් ගෙවීමට සුදුසුකම් ලැබුවා. මෙම විධිවිධාන Overseas Realty සමාගම වෙනුවෙන් 2035දීත්, ඩයලොග් සමාගම 2027 වසරේදීත් අවසන් වෙන්න නියමිතයි. මොබිටෙල් සමාගම සඳහා වන විධිවිධාන 2024 වසරේදී අවසන් විය.
ඒ වගේ ආයෝජනවලට පුළුවන්කම තියෙනවා රැකියා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් හරහා පුළුල් ප්රතිලාභ ජනනය කරන්න. නමුත්, සහනයේ පරිමාණය සහ කාලසීමාවත් එක්ක අරගෙන මේවා කිරලා මැනලා බලන්න ඕන. දිගුකාලීන සහන හැමදාම පටන් ගත්ත විදිහටම තියෙන්න ඕන නෑ. බලාපොරොත්තු වුණු ප්රතිලාභ ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා බලලා වරින් වර සමාලෝචනය කරලා ඒවා කාලානුරූපව වෙනස් කරන්න ඕන.
දේපළ වෙළඳාම්වලට ලබා දෙන සමහර තෝරාගත් සහනවලිනුත් මීට සමාන ගැටළු මතු වෙනවා. 2016 ආයෝජන මණ්ඩල ගිවිසුමක් යටතේ හැව්ලොක් සිටි ආයතනයත්, වසර 15ක ආදායම් බදු නිදහස් කිරීමක් ලබා ගත්තා. ඒත් තවත් බොහෝ වාණිජ සංවර්ධන ආයතන එවැනි වාසියක් නැතිව ඉදිරියට ක්‍රියාත්මක වුණා.
ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ලිමිටඩ්, හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි ලිමිටඩ්, මරීනා හෝටල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සහ අයිසීසී පෝර්ට් සිටි ලිමිටඩ් ඇතුළු වරාය නගරයේ ක්‍රියාත්මක වන සමහර නේවාසික සංවර්ධකයින් කිහිප දෙනෙකුට වෙනත් තැන්වල ක්‍රියාත්මක තරඟකරුවන්ට එවැනි ව්‍යාපෘති සඳහා ලබා ගත නොහැකි මට්ටමේ සැලකිය යුතු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් ලැබිලා තියෙනවා. මේ තත්ත්වය තරඟකරුවන්ට අවාසිදායකයි. ඒ වගේම මෙවැනි විශේෂ සැලකීමක් ලබන්න බලපාන සුදුසුකම් සහ නිර්ණායක ගැනත් ප්‍රශ්නයක් මතු වෙනවා.
ධනවත් ගැනුම්කරුවන්ට බොහෝ දුරට පහසුකම් සපයන සුඛෝපභෝගී සංවර්ධනයන්ට සහය දක්වන සහ ආනයනික ද්‍රව්‍ය සහ උපාංග මත දැඩි ලෙස රඳා පවතින දිරිගැන්වීම් ඇති විට, මේ සම්බන්ධයෙන් තියෙන කනස්සල්ල වැඩියි.ශ්‍රී ලංකාවට තමන්ගේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මේ වගේ කාලයක, මෙවැනි ව්‍යාපෘති සඳහා ලබා දෙන බදු සහන ඊට සාපේක්ෂව වටිනාකමක් ගෙන එනවාද නැද්ද කියන ප්රශ්නය රජය අහන්න ඕන. ආයෝජනය කරන මුදල් ප්‍රමාණය ගැන විතරක් හිතලා මදි. ඒ වෙනුවට, මේ ව්‍යාපෘති මගින් රැකියා අවස්ථා කීයක් නිර්මාණය වෙනවද, රට තුළට කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන එනවාද සහ සමස්ත ආර්ථිකයට කෙතරම් දායකත්වයක් ලබා දෙනවාද කියලා රජය සලකා බලන්නම ඕන.
විවිධ අංශ සඳහා විවිධ බදු අනුපාත පැවතීම, සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීමට හේතු වෙන්න පුළුවන්. පරමාදර්ශී තත්ත්වය යටතේ නම්, ආර්ථිකයට වැඩිම වටිනාකමක් එක් කරන ව්‍යාපාර සහ කර්මාන්තවලට ප්රාග්ධනය සහ ශ්‍රම බලකාය යොමු වෙන්න ඕන. ඒත්, රජය විසින් ඇතැම් ව්‍යාපාරවලට බදු සහන ලබා දෙද්දි එම ව්‍යාපාර රටට වඩාත්ම ඵලදායී හෝ වාසිදායක ඒවා නොවුණත්, ඒවා ආයෝජකයින්ට වඩාත් ආකර්ෂණීය විදිහට පේන්න පුළුවන්. බදු අනුපාත අතර පරතරය වැඩි වන තරමට, වැඩිම වටිනාකමක් නිර්මාණය කළ හැකි ක්ෂේත්‍ර වෙත සම්පත් යොමු වෙනවා වෙනුවට, අඩු ඵලදායිතාවක් ඇති ක්‍රියාකාරකම් වෙත ඒවා යොමු වීමේ ඉඩකඩ වැඩි වෙනවා.
වසර පහක් ඇතුළත රැකියා 2,500ක් නිර්මාණය කිරීමේ කැපවීමක් සහිතව, ඩොලර් 500,000ක මූලික ආයෝජනයක් සඳහා වසර 25ක බදු නිවාඩුවක් පෝර්ට් සිටි බීපීඕ ලිමිටඩ් ආයතනයට ලැබුණා. රැකියා නිර්මාණය කියන්නේ සාධාරණ සාධකයක්. ඒත් මේ රැකියා දේශීය ශ්‍රම බලකායට ලැබෙනවාද යන්න වැදගත්. පෝර්ට් සිටි රාමුව යටතේ විදේශීය සේවක වීසා 14,300කට වඩා නිකුත් කරලාය කියන මෑත කාලීන වාර්තා මගින් මතු කෙරෙන ප්රශ්නය වෙන්නේ ඒ ව්‍යාපෘතියෙන් හරියටම ප්රතිලාභ ලබන්නේ කවුද කියන එක.
කැපවීම් සපුරා ඇති බව සහතික කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPEC) විසින් වැඩි විනිවිදභාවයක් සහ අධීක්ෂණයක් අවශ්‍ය බව මෙයින් ඉස්මතු කරනවා. මධ්‍යස්ථ ආරම්භක ආයෝජනයක් ලබා දීම වෙනුවෙන් වසර 25ක නිදහස් කිරීමක් සඳහා පැහැදිලි සාධාරණීකරණයක් අවශ්‍ය වනවා වගේම එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන දේශීය රැකියා, ආයෝජන සහ ආර්ථික ක්‍රියාකාරකම් කියන ඒවායේ වටිනාකම මේ කියන ව්‍යාපෘතිය වෙනුවෙන් අත්හැර දැමූ ආදායමට සමානුපාතික වෙන්න ඕන.

දේශීය ආදායම් පනත මඟින් ඩොලර් මිලියන 3 ඉක්මවන ආයෝජන සඳහා 150%ක වැඩි දියුණු කළ ප්‍රාග්ධන දීමනාවක් ලබා දෙනවා. ඒක උතුරු පළාතේදි 200% දක්වා ඉහළ අගයකයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රාග්ධන සම්පාදනය දිරිමත් කිරීමට අදහස් කලත් මේ වගේ ප්‍රාග්ධන සූක්ෂම ව්‍යාපෘතිවලට පමණක් කරන විශේෂ සැලකීමක් වගේ. ඒවායින් ඒ තරම් සැලකිව යුතු ප්‍රමාණයක රැකියා උත්පාදනයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ වෙනුවට උතුරේ පුනර්ජනනීය බලශක්ති ආයෝජන වගේ, ස්වාභාවික සූර්ය හා සුළං වාසි සැලකිය යුතු ප්‍රාග්ධනයක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා සහ සෘජු රැකියා සුළු ප්‍රමාණයක් පමණක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා.
ශ්‍රී ලංකාව පැහැදිලිව මැනිය හැකි ප්‍රතිඵල සඳහා ප්රතිලාභ ලබා දෙන වඩාත් ඉලක්කගත රාමුවක් කරා ගමන් කිරීම අවශ්‍යයයි. උදාහරණයක් විදිහට, බදු සහන මඟින් ශුද්ධ රැකියා නිර්මාණය, සේවක පුහුණුව සහ නියෝජනය අඩු කණ්ඩායම්, විශේෂයෙන් කාන්තාවන් බඳවා ගැනීම දිරිමත් කළ හැකියි වගේම පුළුල් සංවර්ධන සහ ශ්‍රම වෙළඳපොළ ඉලක්ක සමඟ දිරිගැන්වීම් පෙළගස්වන්න පුළුවන්.
ගෝලීය බදු නීති වෙනස් කිරීම ප්‍රතිසංස්කරණ සඳහා රුකුලක්
OECD/G20 ගෝලීය බදු නීති (දෙවන කුළුණ) යටතේ, වාර්ෂික ආදායම අවම වශයෙන් යුරෝ මිලියන 750ක් වන විශාල බහුජාතික සමාගම්, අවම වශයෙන් 15%ක ඵලදායී බදු අනුපාතයක් ගෙවන්න ඕන. බදු සහන හේතුවෙන් ශ්‍රී ලංකාව වගේ රටක මේ සමාගම් 15%ට වඩා අඩු බදු ප්‍රමාණයක් ගෙවනවා නම්, එම වෙනස අතිරේක බද්දක් විදිහට අය කර ගැනීමේ හැකියාව වෙනත් රටකට තියෙනවා. ඒකේ අදහස වෙන්නේ, මේ කියන සමාගම්වලට ලංකාවෙන් ලබා දෙන බදු සහන වෙනත් රටකට අතිරේක බදු ආදායමක් බවට පත්වීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය හින්දයි බදු සහන ලබා දීලාත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරපු ප්රතිලාභ අහිමි වෙන්නේ.

මේ නිසා ශ්‍රී ලංකාව තරඟ කරන්න ඕනේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය, කාර්යක්ෂම මහජන සේවා, විශ්වාසදායක යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකායක් සහ මනාප බදු ප්‍රතිකාර වෙනුවට පුරෝකථනය කළ හැකි නියාමනය වගේ මූලික කරුණු මතයි.
බදු දිරිගැන්වීම්වලට කිසිදු කාර්යභාරයක් නෑ කියලා මේකෙන් අදහස් වෙන්නේ නෑ. සමාජීය වශයෙන් වාසිදායක ආයෝජන වළක්වන පැහැදිලි වෙළඳපල අසාර්ථකත්වයන් වෙනුවෙනුයි ඒවා වෙන් කරන්න ඕන. උදාහරණයක් විදිහට, සෘජු මූල්‍ය ප්රතිලාභ පමණක් පෞද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කර නොගත්තත්, ඌන සංවර්ධිත ප්‍රදේශයක ගුවන්තොටුපළ යටිතල පහසුකම් සංචාරක, ආගන්තුක සත්කාර සහ ඒ ආශ්රිත කර්මාන්ත සඳහා උපකාරක සහයක් වෙන්න පුළුවන්.
එවැනි අවස්ථාවලදී ලැබෙන සහායක් නිසා පෞද්ගලික සහ සමාජ ප්රතිලාභ අතර පරතරය පියවන්න පුළුවන්. කොහොම වුණත්, ආධාරවල ස්වරූපය වැදගත්. සැලකිය යුතු, විවෘත ආදායම් පාඩු ඇති කළ හැකි පුළුල් සහනවලට වඩා නිශ්චිත සීමාවන් සහිත සෘජු ප්‍රදාන හෝ බදු ණය වඩාත් සුදුසුය. බදු සහන සලකා බැලිය යුත්තේ වෙළඳපල අසාර්ථකත්වයක් තිබේද යන්න සහ වඩාත් ඉලක්කගත, මූල්‍යමය වශයෙන් පුරෝකථනය කළ හැකි විකල්පයක් එකම ඉලක්කය සපුරා ගත හැකිද යන්න තක්සේරු කිරීමෙන් පසුව පමණයි.
බදු දිරිගැන්වීම් පාලනය ශක්තිමත් කිරීම
දිරිගැන්වීම් සැලසුම් කරන, අනුමත කරන සහ නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවට ශක්තිමත් ආයතනික අධීක්ෂණයක් අවශ්‍යයයි. ජාතයන්තර මූල්‍ය අරමුදලේ 2024 පාලන විනිශ්චය තක්සේරුවෙන් නිර්දේශ කරන්නේ දිරිගැන්වීමේ සැලසුම් ඇගයීම සහ මඟ පෙන්වීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බවයි. ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම වැනි ආයතන වාණිජ විභවය තක්සේරු කිරීමට වඩා හොඳ ස්ථානයක සිටිය හැකි නමුත්, ඔවුන්ගේ තීරණවල මූල්‍ය ඇඟවුම් රජයේ පුළුල් ආදායම් ප්‍රමුඛතා තුළ සලකා බැලිය යුතුයි.
ජාත්‍යන්තර අත්දැකීම් අපිට මේ කතාවෙදි හොඳ උදාහරණ සපයනවා. 2015 බදු දිරිගැන්වීම් කළමනාකරණ සහ විනිවිදභාවය පිළිබඳ පනත, 2021 CREATE පනත සහ 2024 CREATE MORE කියන පනත් හරහා තමන්ගේ රාමුව ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණය කරගන්න පිලිපීනයට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේවා මූල්‍ය දිරිගැන්වීම් සමාලෝචන මණ්ඩලය, අනුමැතීන්හි පිරිවැය-ප්රතිලාභ විශ්ලේෂණය සහ ප්‍රතිලාභී සමාගම් ලැබුණු දිරිගැන්වීම් සහ ආයෝජන, රැකියා සහ අපනයන වැනි ප්‍රතිඵල හෙළි කරන වාර්තාකරණ අවශ්‍යතා හරහා මධ්‍යම අධීක්ෂණය සපයනවා. මෙය මූල්‍ය පිරිවැය සහ ආර්ථික ප්‍රතිඵල දෘශ්‍යමාන කරන අතර දිරිගැන්වීම් ලබා දෙනවාද යන්න ඇගයීමට ඉඩ සලසනවා.
අවසාන වශයෙන්, සාර්ථකත්වය මනින්නේ රටට ඇතුළු වන ප්රාග්ධනයේ පරිමාව හෝ සහන ලබා ගන්නා ව්‍යාපාර ගණන අනුව නොවෙයි. ආයෝජනයේ ගුණාත්මකභාවය සහ ඵලදායී රැකියා, ඵලදායිතාව, තාක්ෂණ හුවමාරුව සහ පුළුල් ආර්ථික ක්‍රියාකාරකම් සඳහා එයින් ලැබෙන දායකත්වය මොන වගේද කියන කරුණු අනුව සාර්ථකත්වය මනින්න ඕන. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට විනිවිද පෙනෙන, ඉලක්කගත, කාලානුරූපී සහ නිතිපතා ඇගයීමට ලක් කරන දිරිගැන්වීමේ රාමුවක් අවශ්‍යයයි. ඒ වගේම මූල්‍ය පිරිවැයට වඩා වැඩි ප්රතිලාභ ලැබෙන බවට පැහැදිලි සාක්ෂි තියෙන්නත් ඕන.
අපේ අරමුණ ආයෝජකයින්ට වඩාත් වාසිදායක බදු සහන ලබා දීම නොවිය යුතු කාරණයක්. ඒ වෙනුවට ඒ වගේ සහන නැතිව පවා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම ආකර්ෂණීය වන පරිසරයක් නිර්මාණය කිරීම අපේ අරමුණ විය යුතුයි.