ට්‍රම්ප්ගේ තීරුබදුවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ තරඟකාරී නොවන වෙළඳ ප්‍රතිපත්තියයි.

මෑතකදී එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාම සඳහා තීරුබදු පැනවීම, ලංකාවට කරන ලද අනතුරු ඇඟවීමකි. ඇමරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳ අසමතුලිතතාවයන් හැරුණු විට, එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ (USTR) සොයාගැනීම් වැඩි අවධානයෙන් කියවීමෙන් පෙනී යන්නේ තීරුබදු තුළ පමණක් නොව, ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යන තීරුබදු නොවන බාධක සහ පැරා-තීරුබදු පුළුල් පරාසයක මුල් බැස ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදී වෙළඳ තන්ත්‍රය තුළ දකින්නට ලැබෙන කලින් කලට වෙනස් වන බදු, මිල පාලනයන්, ආනයන කෝටා, මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදන සහ විනිවිදභාවයෙන් තොර රේගු පිළිවෙත් ආදිය දීර්ඝ කාලයක් මුළුල්ලේ වෙළඳ හවුල්කරුවන් කනස්සල්ලට පත් කරන කරුණකි. මෙම පියවරයන් බොහොමයක්, ලෝක වෙළඳ සංවිධානයේ රාමුවට එපිටින් ක්‍රියාත්මක වන අතර, වෙළඳ පරිසරය තුළ අකාර්යක්ෂමතාව සහ අනපේක්ෂිත බවට හේතු වේ.

මෙම මොහොත හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයක් ලෙස නොව, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ වෙළඳ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමට සහ වේගවත් කිරීමට ලැබුණු උපායමාර්ගික අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. අපගේ තීරුබදු ව්‍යුහය තාර්කික කිරීම, පැරා-තීරුබදු ඉක්මනින් ඉවත් කිරීම, දේශසීමා පිටුපස ඇති බාධක සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සහ වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් හුදෙක් ඇමරිකා එක්සත් ජනපදය වැනි ප්‍රධාන හවුල්කරුවන් සමඟ විශ්වාසය නැවත ගොඩනැංවීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත තරඟකාරිත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම වෙළඳාමෙන් ලැබෙන ලාභ වැඩි කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මේ මොහොතේ, වෙළඳ ප්‍රතිපත්තිය ආරක්ෂණවාදයෙන් ඔබ්බට ගොස් ගෝලීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ වීමට ඉඩ සැලසීම කරා ගමන් කළ යුතුව ඇත. එය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමේ පිරිවැය දරා ගන්නට සිදුවන්නේ ශ්‍රී ලාංකික අපනයනකරුවන්, පාරිභෝගිකයින් මෙන්ම අපගේ පුළුල් වර්ධන අභිලාෂයන් යන සියල්ලටමය.

තීරුබදු තාර්කිකකරණය සහ තීරුබදු නොවන බාධක ඉවත් කිරීම කඩිනමින් සිදු කළ යුතු ප්‍රමුඛතාවන් වුවද, ඒවා ශ්‍රී ලංකාවේ වෙළඳ හා තරඟකාරිත්ව න්‍යාය පත්‍රයේ පුළුල්, වඩාත් උපායමාර්ගික යළි පිහිටුවීමක් කරා යන ගමනේ පළමු පියවරයන් පමණි.

භූ දේශපාලනික එදිරිවාදිකම්, සැපයුම් දාම නැවත සකස් කිරීම් සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට නැවත වතාවක් පණ පෙවීම ඔස්සේ හැඩගස්වා ඇති ගෝලීය වෙළඳ රටාවන්, වේගයෙන් වෙනස් වෙමින් පවතී. ට්‍රාන්ස්-පැසිෆික් හවුල්කාරිත්වය සඳහා වූ විස්තීර්ණ සහ ප්‍රගතිශීලී ගිවිසුමේ (CPTPP) සිට කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) දක්වා, රටවල් වෙළඳපල ප්‍රවේශය සහතික කිරීමට, ඒකාබද්ධතාවය ගැඹුරු කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම යන අරමුණු කරා තීරණාත්මකව ගමන් කරමින් සිටී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මින් මඟහැරීමේ අවදානමක් ඇත.

එම නිසා ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී, කලාපීය වෙළඳ කණ්ඩායම්වලට ප්‍රවේශ වීම පිළිබඳව සක්‍රීයව සලකා බැලිය යුතු අතර සාම්ප්‍රදායික සහ නැගී එන හවුල්කරුවන් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට උත්සහ කළ යුතුය. වෙළඳ පහසුකම් සැපයීම, ඩිජිටල් වෙළඳ සූදානම සහ නියාමන සහයෝගීතාවය වැඩිදියුණු කිරීම මඟින් ඵලදායිතාව සහ ආයෝජක විශ්වාසය තවදුරටත් ඉහළ නංවනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ආර්ථික සම්බන්ධතාව භූගෝලීය, ඓතිහාසික සහ සංස්කෘතිකමය වශයෙන් මුල් බැසගත් අද්විතීය හා පරිණාමය වෙමින් පවතින්නකි. 2030 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසු ස්ථාවර වීමට සහ වර්ධනය වීමට උත්සාහ කරන පසුබිමක රටවල් දෙක අතර ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය. 2000 සිට බලාත්මක වන ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (FTA) මඟින් ශ්‍රී ලංකා අපනයනවලින් 60%කට වඩා වරණීය ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබා ගත හැකි පරිදි ශක්තිමත් පදනමක් සපයයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ ප්‍රතිලාභ සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවාගෙන නැත. තීරුබදු නොවන බාධක (NTBs), සංකීර්ණ සම්භවය පිළිබඳ නීති සහ තේ සහ ඇඟලුම් වැනි ප්‍රධාන අපනයන අයිතම සඳහා තීරුබදු කෝටා හේතුවෙන් වෙළඳාම සීමා වී තිබේ. එපමණක් නොව, සීමිත කාර්මික පෙළගැස්ම සහ තාක්ෂණික බාධක හේතුවෙන් ශ්‍රී ලාංකික නිෂ්පාදකයින් ඉන්දියානු සැපයුම් දාමයන්ට ඒකාබද්ධ වීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත. නමුත් මේවා ගිවිසුම අත්හැරීමට හේතු නොව, එය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණු ලෙස සැලකිය යුතුය.

13 වතාවකට වඩා සාකච්ඡා කර 2008දී ආසන්න වශයෙන් අවසන් තීරණයකට එළඹුණු, ඉන්දියාව සමඟ ඇති විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම නැවත පණ ගැන්වීමට සහ අවසන් කිරීමට කාලය පැමිණ ඇත. CEPA හි අරමුණ වන්නේ භාණ්ඩවලින් ඔබ්බට ගොස් සේවා, ආයෝජන සහ නියාමන සහයෝගීතාව ආවරණය කිරීමයි. හොඳින් සැලසුම් කර විනිවිදභාවයෙන් සාකච්ඡා කළහොත්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් වළක්වන බොහෝ බාධකවලට විසඳුම් සෙවීමට, එනම් ආයෝජන ප්‍රවාහය සක්‍රිය කිරීමට සහ විශේෂයෙන් තොරතුරු තාක්ෂණ, සැපයුම් සහ අධ්‍යාපනය යන අංශ තුළ සේවා අංශයේ ව්‍යාප්තිය සක්‍රීය කිරීමට හැකියාව ලැබේ.

විශේෂයෙන් 2030 වන විට මිලියන 700 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන ඉන්දියාවේ ප්‍රසාරණය වන මධ්‍යම පන්තියට දායක වීමෙන් සහ වෙළඳාම් කළ හැකි අංශවලට ඉන්දියානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට වැඩි ඒකාබද්ධතාවයකින් ප්‍රතිලාභ ලබා ගත හැකිය. වරාය, බලශක්තිය, තොරතුරු තාක්ෂණ සහ ආගන්තුක සත්කාර යන ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වය, රැකියා උත්පාදනය සහ විදේශ විනිමය ඉපැයීම් වැඩි දියුණු කළ හැකිය. කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන්, දැරිය හැකි මිලකට බලශක්ති උත්පාදනය සඳහා ජාල සම්බන්ධතාව වැඩි දියුණු කිරීම සහ සේවා අංශ ඒකාබද්ධ කිරීම - විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශ්‍රම බලකාය වර්ධනය කිරීමේ අභිලාෂයට අනුකූලව තොරතුරු තාක්ෂණ අංශය සලකා බැලීම වඩාත් වැඳගත් විභව සංවර්ධන මාවත් වේ.

ගැඹුරු ඒකාබද්ධතාවයක් සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන මාවත, සීමිත අපනයන පදනම, ආරක්ෂණවාදී ප්‍රතිපත්ති සහ වයස්ගත වන ජනවිකාශ පුරෝකතන ආදී දේශීය සීමාවන්ටද විසඳුම් සෙවිය යුතුය. කෙසේ වෙතත්, ඉලක්කගත ප්‍රතිසංස්කරණ සහ ආයෝජන සමඟ, ශ්‍රී ලංකාවට තරඟකාරී ලෙස මුහුණට මුහුණලා නොව, ඉලක්කගත නිෂ්පාදන සහ අන්තර් කර්මාන්ත වෙළඳාම හරහා ඉන්දියාවේ සැපයුම් දාමයන්ට සහභාගී විය හැකිය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ඉන්දියානු සමාගම්වලට ඉන්දියාවට නැවත අපනයනය කළ හැකි අතර, ඔවුන්ගේ ජාල උපයෝගී කරගනිමින් කුසලතා සහ තාක්ෂණය දේශීයව මාරු කළ හැකිය.

ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතා කවුන්සිලයක් හෝ වෙළඳාම, ආයෝජන සහ නියාමන පෙළගැස්ම කෙරෙහි අවධානය යොමු කළ ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් හරහා සහයෝගීතාව ආයතනිකකරණය කළ හැකිය. විද්වතුන්, චින්තන පර්ෂද සහ නිලධාරීන් අතර නිතිපතා අදහස් හුවමාරු කර ගැනීම මඟින් ඉන්දියාවේ සාර්ථක ප්‍රතිපත්ති පාඩම්, ශ්‍රී ලංකාවේ සන්දර්භයට අනුවර්තනය කිරීමට උපකාරී වන අතර එය දෙරටේ හවුල් වර්ධනයට සහ කලාපීය ස්ථාවරත්වයට මග පාදයි.

ගෝලීය වශයෙන්, රටවල් වෙළඳ කම්පනවලින් ආරක්ෂා වීමට සහ නව වෙළඳපොළවල් සොයා ගැනීමට රටවල් අතර සබඳතා ගැඹුරු කරමින් සිටී. යුරෝපා සංගමය, ආසියාන් රාජ්‍යයන් සහ Mercosur ආදී සංගමයන් සමඟ සාකච්ඡා කඩිනම් කර ඇත; කැනඩාව ආසියාව පුරා සිය වෙළඳ ගමන පුළුල් කරමින් සිටින අතර CPTPP සහ RCEP වැනි කණ්ඩායම් දැඩි කලාපීය ඒකාබද්ධතාවය පෝෂණය කරමින් සිටී. මේ මොහොතේ ශ්‍රී ලංකාව ඒවාට හවුල් නොවී සිටියහොත්, ඉදිරි දශකය තුළ ගෝලීය වාණිජ්‍යය නිර්වචනය කරන නැගී එන වෙළඳ රාමුවලින් ඉවත් වීමේ අවදානමක් ඇත.

ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ සබඳතා ගැඹුරු කිරීමේ අභියෝගයක් නැත්තේ නොවේ. නමුත් විකල්පයක් ලෙස අඛණ්ඩව එකතැන පල්වීම සහ අත්තනෝමතික තීරුබදුවලට ගොදුරු වීමේ අවදානම හෝ ආයෝජක හැඟීම් වෙනස් වීම ඊටත් වඩා භයානක ප්‍රතිඵල වේ. ශ්‍රී ලංකාව දේශීය වශයෙන් ඇති පැකිලීමෙන් ඔබ්බට ගොස් ඉන්දියාව සමඟ සද්භාවයෙන් නැවත සම්බන්ධ විය යුතුය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, විනිවිදභාවය සහ සංවේදී අංශ සඳහා ආරක්ෂණ ක්‍රමවලින් සමන්විත අලුත් කරන ලද CEPA ගිවිසුම මඟින් නවීන, බාහිර-නැඹුරු ආර්ථික උපාය මාර්ගයක මූලික සංධිස්ථානයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිය.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන CEPA ගිවිසුම ක්‍රියාත්මක කිරීමත්, ගුණාත්මක ප්‍රමිතීන් සපුරාලීම සඳහා දේශීය ධාරිතාවයේ ආයෝජනය කිරීම සහ කලාපීය වටිනාකම් දාමයන්ගෙන් අපගේ සමාගම් වළක්වන බාධක ඉවත් කිරීම තීරණ ගන්නා ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. මේ මොහොතේ අපි තීරණාත්මකව ක්‍රියා කළහොත්, වරක් මතභේදාත්මක නිදහස් වෙළඳ ගිවිසුමක් ලෙස සැලකූ මෙම ගිවිසුමෙන් සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් සහ තිරසාර ගෝලීය අදාළත්වයක් සහිත වේදිකාවක් නිර්මාණය කළ හැකිය.

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වයට දිගු කලක පටන් බාධාවක් වී ඇති සෙස් (CESS) සහ වරාය සහ ගුවන්තොටුපළ බද්ද (PAL) වැනි පැරා-තීරු බදු ඉවත් කරන ලෙස ඇඩ්වොකාටා ආයතනය ශ්‍රී ලංකා රජයෙන් අවධාරණයෙන් ලෙස ඉල්ලා සිටී. සාමාන්‍ය ආනයන බදු මත පදනම් වූ මෙම අතිරේක බදු ව්‍යාපාර සඳහා පිරිවැය වැඩි කරන අතර නිෂ්පාදන කටයුතු සඳහා ගනු ලබන යෙදවුම්වල මිල ඉහල දමන බැවින් ගෝලීය වෙළෙඳපොළ තුළ අවදානම් ගැනීමට ව්‍යවසායකයින් දිරිමත් නොකරයි. අවසානයේ ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා අපනයනවල තරඟකාරීත්වය අඩුවේ. මෙම තීරු බදු සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකුට පවා සිය එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය වන භාණ්ඩවල මිල අධික කරයි.

පැරා-තීරු බදු ඉවත් කිරීම සහ වත්මන් තීරුබදු ප්‍රතිසංස්කරණ වැඩසටහන වඩාත් ඒකාකාරී කිරීම වේගවත් කිරීම එක්සත් ජනපද තීරුබදුවල බලපෑම අඩු කරනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාවද වැඩි දියුණු කරයි.

එක්සත් ජනපද වෙළඳ තීරුබදු ප්‍රතිපත්තිය

ඇමරිකානු රජය විසින් යෝජිත තීරුබදු වැඩි කිරීම් පිළිබඳ, විශේෂයෙන් ශ්‍රී ලංකාව මත 44% ක තීරුබදු පැනවීම පිළිබඳව වැඩි කතාබහක් ඇති වී තිබේ. සියලුම ආනයන සඳහා පුළුල් සෑම රටකටම අදාල වන පරිදි පනවා ඇති 10% ක බද්දක කොටසක් වන මෙම තීරුබදු, වෙළඳ සබඳතා කඩාකප්පල් කිරීමට, ඇඟලුම් අංශය වැනි ප්‍රධාන කර්මාන්තවලට බලපෑම් කිරීමට සහ එක්සත් ජනපද වෙළඳපොළවල් මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා ආර්ථික අභියෝග උග්‍ර කිරීමට හේතු වී තිබේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් ගෙන ඇති නව වෙළඳ පියවර අතරට අප්‍රේල් 5 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආනයනික භාණ්ඩ සඳහා ලොව පුරා බලපැවැත්වෙන 10% ක තීරු බද්දක් සහ අප්‍රේල් 9 වන දින සිට ආරම්භ වීමට නියමිත එක්සත් ජනපදයට සැලකිය යුතු වෙළඳ හිඟයක් ඇති නිශ්චිත රටවල් ඉලක්ක කරගත් අතිරේක අන්‍යෝන්‍ය තීරු බද්දක් ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව 44% ක තීරු බද්දකට මුහුණ දීමට නියමිතයි. 2024 දී මුළු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ආසන්න වශයෙන් 23% ක් වන එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය වන අතර, මෙම අපනයනවලින් 70% කට වඩා ඇඟලුම් වේ. නව තීරු බද්ද එක්සත් ජනපද වෙළඳපොලේ ශ්‍රී ලංකා ඇඟලුම්වල තරඟකාරිත්වයට තර්ජනයක් වන අතර එමඟින් ඇණවුම් අඩු වීමට ඉඩ ඇත.

ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තිය බොහෝ දුරට මෙහෙයවනු ලබන්නේ දේශීය දේශපාලන බලපෑම් සහ ඇමරිකානු කර්මාන්තවල සහ රැකියාවල ආරක්ෂකයා තමා හඳුන්වා ගැනීමට ඔහුගේ මැතිවරණ සන්ධානයේ ජනප්‍රිය හැඟීම් උපයෝගී කර ගැනීමේ ඔහුගේ නොතිත් ආශාව මගිනි. මෙම ප්‍රතිපත්තියේ තවත් ගාමක බලවේගයක් වන්නේ චීනය සමඟ එක්සත් ජනපද උපායමාර්ගික තරඟකාරිත්වය සහ බිඳුණු ලෝකයක තම බලපෑම තහවුරු කර ගැනීම සඳහා තියුණු නොවන රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස තීරුබදු භාවිතා කිරීමට ට්‍රම්ප් පරිපාලනයේ ආශාවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්ති පදනම් වී ඇත්තේ දෝෂ සහිත ආර්ථික විද්‍යාව මතය. තීරුබදු පැනවීමෙන් රටවල් අතර වෙළඳ හිඟයන් "සමතුලිත" වනු ඇතැයි යන මතය යල් පැන ගිය වාණිජවාදී චින්තනය තුළ මුල් බැස ගත්තකි. ව්‍යාපාර සහ කුටුම්බ සමහර පුද්ගලයින්ගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගෙන, ඔවුන්ගේ ශ්‍රමය සහ නිෂ්පාදන අනෙක් අයට විකුණනවා සේම, රටවල් කරන්නේද එයයි. රටවල් දෙකක් අතර වෙළඳාම සමතුලිත කළ යුතුය යන අදහස, අපි සුපිරි වෙළඳසැලෙන් සිල්ලර බඩු මිලදී ගන්නා නිසා එම ගනුදෙනුවෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට නම් අපිත් ඔවුන්ට යමක් විකිණිය යුතු යැයි සිතීම තරම්ම දෝෂ සහිතය.

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති තාර්කික නොවන නමුත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති, අපනයන විවිධාංගීකරණයක් නොමැතිකම සහ කලාපීය වටිනාකම් දාමයන් තුළට ඒකාබද්ධ නොවීම යන කරුණු හෙළි කරයි.

ශ්‍රී ලංකාවේ ආරක්ෂණවාදය

ආසන්න වශයෙන් වසර 20 ක් තිස්සේ ශ්‍රී ලංකාවද එවැනිම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටී. සමස්ත ආර්ථිකයේ තරඟකාරිත්වයට හානි කරමින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම මෙහිදී සිදුවේ.

ශ්‍රී ලංකාව 44% ක තීරුබදුවකට මුහුණ දෙන බැවින්, එහි විශාලතම අපනයන කර්මාන්තවලින් එකක් වන ඇඟලුම් සහ රෙදිපිළි අංශය සැලකිය යුතු පාඩු ලබනු ඇත. ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඉල්ලුම මත යැපීම හේතුවෙන් මෙකී වෙළඳ පියවරයන් පහත ප්‍රතිවිපාකයන්ට හේතු විය හැකිය.

ප්‍රධාන අපනයන කර්මාන්තවල තරඟකාරිත්වය අඩු වීම.

ගැනුම්කරුවන් අඩු තීරුබදු සහිත රටවලට මාරු වන විට ගෝලීය සැපයුම් දාමවලට බාධා සිදු වීම.

ආයෝජන සහ රැකියා නියුක්තිය පහත වැටීම මඟින් දැනටමත් දුර්වල වී ඇති ආර්ථිකයට තවදුරටත් පීඩා ඇති කරයි.

වියට්නාමය, බංග්ලාදේශය, කාම්බෝජය සහ මියන්මාරය යන රටවලටද මෙවැනිම ප්‍රතිවිපාක දැනෙනු ඇති අතර, එහිදී දැඩි තීරුබදු ඔවුන්ගේ ආර්ථික ස්ථාවරත්වයට අභියෝග කරනු ඇත. මුළු දකුණු ආසියානු කලාපයම විදේශ ආයෝජන පහත වැටීමේ සහ වෙළඳ අවිනිශ්චිතතාවයේ අවදානමට මුහුණ දෙන අතර එය ආර්ථික ප්‍රතිසාධන උත්සාහයන් තවදුරටත් මන්දගාමී කිරීමට හේතුවේ.

ශ්‍රී ලංකාව අපනයන වෙළඳපොළවල් කිහිපයක් මත පමණක් යැපීම සිදුව ඇත්තේ කාර්මික ප්‍රතිපත්තියේ මුවාවෙන් අසාර්ථක ආනයන ආදේශක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙනි. ඒ ඔස්සේ දූෂණය, දේශපාලන අක්‍රියතාව සහ 'ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා' දේශීය ව්‍යවසායකයින් සහ ප්‍රාග්ධනය ඔස්සේ දේශීය වෙළඳපොළට නිෂ්පාදනය කිරීමට දිරිගැන්වීම් ඇති කර ඇත. උපහාසයට කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ වෙළඳ ප්‍රතිපත්තිය හැඩගස්වා ඇති තර්කනය ට්‍රම්ප් මහතා අනුගමනය කරන තර්කයට සමාන වීමය.

ඇඩ්වොකාටා ආයතනයේ නිර්දේශ

ශ්‍රී ලංකාවේ වෙළඳ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද තීරුබදුවල බලපෑම අවම කිරීම සඳහා, ඇඩ්වොකාටා ආයතනය පහත සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිර්දේශ කරයි:

ලෝකය සමඟ වෙළඳාම් කිරීමට යෝග්‍ය වන පරිදි ශ්‍රී ලංකාවේ විවෘතභාවයක් ඇති බව ඇඟවීමට, ආනයන සඳහා වන සියලුම පැරා-තීරුබදු ඉවත් කරන්න.

සාධාරණ වෙළඳ තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ආනයන සමඟ එක්සත් ජනපද තීරුබදු මට්ටම් පිළිබඳව එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කරන්න.

වෙළඳාමට පහසුකම් සපයන සහ දූෂණයට ඇති ඉඩකඩ අහුරන වඩාත් ඒකාකාරී සහ සරල කළ තීරුබදු ක්‍රමයක් කරා ගමන් කිරීම උදෙසා වූ වැඩසටහන කඩිනම් කරන්න.

ඇඩ්වොකාටා ආයතනය පිළිබඳ

ඇඩ්වොකාටා ආයතනය යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන ප්‍රතිපත්ති චින්තන පර්ෂදයක් වන අතර, එය ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම සඳහා කැපවී සිටී. ඇඩ්වොකාටා ආයතනය ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳපොළවල්, ආර්ථික සංවර්ධනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති නිර්දේශ සපයයි.

අප හා සම්බන්ධ වීමට:

ධනනාත් ප්‍රනාන්දු

dhananath@advocata.org

0112685888

www.advocata.org