ආචාර්‍යය රොෂාන්, තෂිකලා සහ ජනනි විසිනි.
ඉහත ලිපිය මත පදනම් වේ.
ඔයාලා දන්නවාද 2002දී වැට් බද්ද සම්මත කර ගත්තට පස්සේ මේ වෙනකම් ශ්‍රී ලංකාවේ වැට් බදු අනුපාතිකය අට පාරක් වෙනස් වුණා කියලා? හැබැයි, වැට් බදු ගැන හොඳටම දන්න සෑහෙන කාලෙකට කලින් ම වැට් බදු පනවපු නවසීලන්තය, 1986දී වැට් බදු අනුපාතයක් සම්මත කර ගත්තාට පස්සේ මේ වෙනකම් ඒක වෙනස් කරලා තියෙන්නේ දෙපාරයි, 1988දී පිලිපීනය ඒ රටේ සම්මත අනුපාතය එක පාරක් වෙනස් කළා. එතකොට බංග්ලාදේශය ගැන කියනවා නම් 1991දී වැට් බදු සම්මත කළාට පස්සේ තාමත් වෙනසක් නොකර ඒ විදිහටම ස්ථාවර අනුපාතයක් පවත්වාගෙන යනවා.
මේ වෙද්දි, ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය වෙනුවෙන් ආදායම් එකතු කිරීම වගේම ආදායම් ඉහළ නැංවීමේ හදිසි අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට තියෙනවා. ලංකාවේ ළගදි ඇති වුණ ආර්ථික අර්බුදයට එක හේතුවක් වෙන්නේ බදු ආදායම අඩු වෙන විදිහට බදු පදනම ටිකෙන් ටික අඩු වෙලා ගිය එක. දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3% වෙන ශ්‍රී ලංකාවේ බදු අනුපාතය අනිත් රටවල් එක්ක බලද්දි ලෝකයේ අඩුම බදු අනුපාතවලින් එකක්. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩසටහනේ එක ප්‍රධාන අරමුණක් වෙන්නේ 2026 වෙද්දි මේ බදු අනුපාතය 14% ඉහළ නැංවීම.
2023දි දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2% විදිහට ඇස්තමේන්තු කරලා තිබ්බ බදු ආදායම, 2024 අයවැයෙන් 12.1%ට ඉහල නංවන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් බදු ආදායම 47% කින් වැඩි කරලා රු. ට්‍රිලියන 3.9ක් උපය ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ රු. ට්‍රිලියන 1.4 ක්ම උපය ගන්න පුලුවන් වෙන්නේ අගය එකතු කළ (VAT) බද්දෙන්. 2024 අයවැයෙන් VAT එකට එක එක වෙනස්කම් යෝජනා කළා. 2024 ජනවාරි ඉඳලා වැට් බදු අනුපාතය 15% ඉඳලා 18% වැඩි වෙනවා. ඒ වගේම වැට් බද්දෙන් නිදහස් සීමාව දැනට තියෙන රුපියල් මිලියන 80 ඉඳලා රුපියල් මිලියන 60ක් වෙනකම් අඩු වෙනවා. මේ වෙනකොට වැට් බද්දෙන් නිදහස් කරලා තියෙන අයිතම 137 න් 87 ක් නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ඉවත් කරලා වැට් බද්දට යටත් කෙරෙනවා.
මේ වෙද්දි ලෝකයේ රටවල් 160 කට වැඩි ගාණක් වැට් බද්ද පනවනවා. ඒකෙන් උපය ගන්න ආදායම, ඒ රටවල්වල මුළු බදු ආදායමෙන් 30% කට වඩා වැඩියි. ශ්‍රී ලංකාවේ, වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තම 2004දී තමයි වැඩිම අගයක් වාර්තා කරන්නේ. ඒකත් 6%ක්. ඒත් මේ අගය 2022 දී 2%ට පහළ වැටුණා. ඒකට හේතුව, නිතර නිතර බදු ප්‍රතිපත්ති වෙනස්වීම් සහ අකාර්යක්ෂම බදු පරිපාලනය. ඒකෙන් බදු පදනම එන්න එන්නම අඩු වුණා.
ගෙවුණු අවුරුදු දහය විස්ස දිහා බලද්දි වැට් බදු ආදායම් වෙනස් වෙලා තියෙන විදිහෙන් පේනවා කොයිතරම් ප්‍රතිපත්ති වෙනස්කම් වෙලාද කියලා. රුපියල් බිලියන 2ට වඩා වැඩි රුපියල් බිලියන 2ට වඩා වැඩි තොග සහ සිල්ලර වෙළෙඳාමට 15% වැට් බද්ද හඳුන්වාදීම සහ නිදහස් කිරීම් ඉවත් කිරීම නිසා 2013, 2016, 2017, සහ 2018 අවුරුදුවල සැලකිව යුතු ආදායම් වර්ධනයන් ඇති වුණා. අනිත් අතට බැලුවම, 2009, 2015 සහ 2020 අවුරුදුවල වැට් බදු ආදායම පහත වැටෙන්න හේතු කීපයක් බලපෑවා. ඒ අතරට සම්මත වැට් බදු අනුපාත අඩු කිරීම, ලියාපදිංචි සීමාවන් වැඩි කිරීම, 2020දී වැට් බදු අනුපාතය 8% දක්වා අඩු කිරීම මඟින් ඇතැම් භාණ්ඩ හා සේවාවලට නිදහස් කිරීම් දීර්ඝ කිරීම් ලබා දීම සහ විවිධ සේවා සඳහා නිදහස් කිරීම් හඳුන්වාදීම අයිති වෙනවා.
ශ්‍රී ලංකාවේ සම්මත වැට් බදු අනුපාතය සහ ක්‍රියාත්මක වන වැට් බදු අනුපාතය අතර ලොකු පරතරයක් තියෙනවා. 2022 දී, සම්මත අනුපාතය 15% ක් වුණාට ඵලදායී අනුපාතය වූයේ 1.6% ක්. මේ පරතරයෙන් අපිට පේන්න තියෙන්නේ වැට් බදු ක්‍රමයෙන් ඇත්තටම එකතු කරන්න පුලුවන්කම තියෙන ආදායම එකතු කෙරෙන්නේ නෑ කියලා. මේ කියන පරතරයට හේතු වෙලා තියෙන්නේ විශාල නිදහස් කිරීම් සංඛ්‍යාවක් තියෙන එක, බදු නිදහස් සීමාව ඉහල මට්ටමක තියෙන එක, හුඟක් ආර්ථික කටයුතු අවිධිමත් ආර්ථිකය ඇතුලේ සිද්ධ වෙන එක වගේ දේවල්. ඒ පරතරය තවත් වැඩි වෙන්න පුළුවන් බදු පරිපාලනය හරියට කර ගන්න බැරි වෙනකොට වගේම වැට් බදු ආදායම කාර්යක්ෂමව හා ඵලදායී විදිහට එකතු කර ගන්න බැරි වෙනකොට.
දැන් අපි බලමු වැට් බද්දට සම්බන්ධ ගැටළු මොනවාද කියලා.
1. වැට් බදු අනුපාතිකය සහ සීමාවෙහි නිතර සිද්ධ වෙන වෙනස්වීම්
ශ්‍රී ලංකාව වැට් බදු අනුපාතිකය 2022 ජූනි 1දා 8% ඉඳලා 12% දක්වාත්, 2022 සැප්තැම්බර් 1 දින ඉඳලා 15% දක්වාත් වැඩි කළා. මේ වගේ නිතර නිතර සිද්ධ වෙන වෙනස්කම් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ගැලපීම් කොච්චර තාවකාලිකද කියන එක වගේම ඒවායේ හරි හමන් විශ්ලේෂණයකින් නෑ කියන එකත් පෙන්වනවා. අවුරුදු ගාණක් පුරාවට හඳුන්වලා දීලා තියෙන එක එක විදිහේ බදු අනුපාත නිසා වැට් බදු ක්‍රමය හුඟක් සංකීර්ණ වෙලා තියෙන්නේ. ආදායමට අදාළ අනුපාතවල වැඩිවීමක් සලකලා බැලුවොත්, එතනදි හුඟක්ම වැඳගත් වෙන්නේ කාර්යක්ෂමතාවයි ඇති වෙන්න පුළුවන් විදිහේ ප්‍රතිවිපාක තක්සේරු කිරීමයි කියන දෙක. වැට් බදු අනුපාතය ඉතාමත් ඉහළ නම් ඒකෙන් පාරිභෝගිකයන් මිලදී ගන්න ප්‍රමාණය අඩු වෙන්න වගේම ඉල්ලුම අඩු වෙන්න හේතු වෙනවා. ඒත් එක්කම ව්‍යාපාර මුහුණ දෙන දේ තමයි ඉල්ලුම අඩු වෙනවත් එක්කම ඒක නිෂ්පාදනයට සහ ආර්ථික වර්ධනයට අහිතකර බලපෑමක් ඇති කරන එක.
2. නිදහස් කිරීම් විශාල සංඛ්‍යාවක් තිබීම
2002 අවුරුද්දේ විතර ඉඳලා ශ්‍රී ලංකාව ආර්ථිකමය විදිහට ඒ තරම් පැහැදිලි තාර්කිකත්වයක් නැතිව වැට් බදු නිදහස් කිරීම් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙන නිසා වැට් බදු පදනම අඩු කරන්න ඒක හේතුවක් වෙලා. මුල් අවස්ථාවලදී සකස් නොකළ කෘෂිකාර්මික නිෂ්පාදන, අධ්‍යාපනය වගේ ක්ෂේත්‍රවලට අවධානය යොමු කළත්, මේ විදිහට විශේෂ සැලකිල්ලක් දක්වලා සමහර කර්මාන්තවලට අනුග්‍රහයක් විදිහට කරන බදු නිදහස් කිරීම් ලැයිස්තුව කාලයත් එක්ක වැඩි වුණා. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Development Projects Act) වගේ එක එක පනත් යටතේ කරන නිදහස් කිරීම් නිසා වෙළඳපල විකෘති වීම සහ විකෘති වුණ දිරිගැන්වීම් ඇති කරන්න හේතු වෙනවා.
3. වැට් බදු සීමාවට සිදු කළ වෙනස්කම්
ආසියාවේ ඉහළම අගයන් අතර තියෙන ශ්‍රී ලංකාවේ වැට් බදු අනුපාත අගය ගත්තම මේකේ තියෙන දුර්වලතාවක් තමයි පනවන ඉහළ වැට් සීමාවට ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් යටත් නොවෙන එක. වැට් බදු සීමාව 2002 ඉඳලා හය වතාවක් සංශෝධනය කරලා තියෙනවා වගේම 2019 දී 2400%කින් වැඩි කරලත් තියෙනවා. මේ නිසා මිනිස්සු කොච්චර දුරට බදු ක්‍රමයට අනුගත වෙයිද කියන එක / බදු අනුකූලතාව (compliance) ගැන අභියෝගයකුත් ඇති වෙනවා. මේ සීමාව 2024දී රු. මිලියන 60 ක්. ඒ කියන්නේ ඒක අනෙකුත් රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමක තියෙන්නේ. එකතු කිරීමේ පිරිවැය සහ ආදායම් බලපෑම සැලකිල්ලට අරගෙන වැට් බදු අනුපාත සීමාවට පැහැදිලි තාර්කික පදනමක් ස්ථාපිත කිරීම හුඟක් වැදගත්. ආදායම් ලාභවලට වඩා වැඩියෙන් බදු පරිපාලන වියදම් දරන්න වෙන එක වළක්වා ගන්න නම් කුඩා පරිමාණ ව්‍යාපාරවලට නිදහස් කිරීම් ලබා දෙන එක සාධාරණීකරණය කරන්න පුළුවන්.
4. දුර්වල බදු පරිපාලනය
VAT බද්දට මිනිස්සු අනුගත වෙන එක/ හැඩ ගැහෙන එක අධෛර්යමත් කරන්නේ නැත්නම් වැට් බදු ගෙවන්න මිනිස්සු අකමැති වෙන්න තියෙන හේතු විදිහට සංකීර්ණ ගොනු කිරීමේ ක්‍රියා පටිපාටි, ලියාපදිංචි කිරීමේදී ඇති වන ගැටළු සහ ඒකට අදාළ අවශ්‍යතා සහ විගණන වැඩසටහන්වල තියෙන දුර්වල පෙන්වා දෙන්න පුළුවන්. වඩාත් හොඳින් බදු ක්‍රමයට හැඩ ගැහෙන්න නම් විධිමත් පරිපාලන පද්ධතියක් අත්‍යවශ්‍යයයි. මේකට පරිගණකයෙන් ජනනය කරන ඉන්වොයිසි භාවිතයට වගේම POS යන්ත්‍ර භාවිතා කිරීමටත් ව්‍යාපාර දිරිමත් කෙරෙනවා. 2002 ඉඳලා වැට් බදු පනතට හඳුන්වා දුන්න සංශෝධන 16 නිසා පනතේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙලා වගේම ආදායම් ඇස්තමේන්තුවලට ඒකෙන් බලපෑමක් ඇති වෙනවා. මේ වගේ බාධාවන් නිසා පරිපාලකයින්ට සහ බදු ගෙවන්නන්ට වැට් බද්දට හැඩ ගැහෙන එකත් හරියට අභියෝගයක් වගේ. ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන නොගැලපීම, බදු අනුපාත, බදු සීමාවන් සහ නිදහස් කිරීම් සඳහා නිතර සිදුවන වෙනස්වීම් නිසා බදු අනුකූලතාව සංකීර්ණ කරනවා සහ ව්‍යාපාර බදු පරිපාලනයට අනුකූල වීම වඩාත් අභියෝගාත්මක කරනවා.
5. මුල්‍ය සේවා මත වැට් බද්ද
අංශයේ පිරිවැයට ඇති සංවේදීතාව සහ අගය එකතු කිරීම ගණනය කිරීමේ අභියෝග නිසා හුඟක් රටවල් වැට් බද්දෙන් මූල්‍ය සේවා බැහැර කළත්, ශ්‍රී ලංකාව 2003 වසරේ සිට වැට් බදු ක්‍රමයට මූල්‍ය සේවා ඇතුළත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තුළ, වැට් බද්ද යොදන්නේ ශුද්ධ ආකලන ක්‍රමය (additive method of net profit plus wages) භාවිත කරලා. එතනදි අමුද්‍රව්‍ය මත පනවලා තියෙන තියෙන බදු අඩු කරන්න ඉඩක් ලැබෙන්නෙත් නෑ. මේ ප්‍රවේශය නිසා මූල්‍ය ආයතනවලට පුළුවන් වැට් බද්ද ණය ගැතියන්ට පටවන්න. අවසානයට වෙන්නේ ණය සඳහා වැඩි පිරිවැයක් දරන්න වෙන එක.
වැට් බදු සැලකිය යුතු ආදායම් මාර්ගයක් විදිහට සැලකුවත්, වැට් බද්දේ තියෙන ප්‍රතිගාමී ස්වභාවය, එහෙමත් නැත්නම් තමන්ගේ ආදායම මොකක් වුණත් හැම කෙනෙක්ටම වැට් බද්ද සමාන බදු අනුපාතයක් හින්දා එකම ගාණක් වැට් බදු විදිහට ගෙවන්න වෙන එක කනස්සල්ලට කරුණක්. විශ්ලේෂණවලින් පෙන්වන විදිහට ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් වෙන් කරන අඩු ආදායම්ලාභී පිරිස්වලට වැට් බද්ද නිසා ලොකු බරක් ඇති වෙනවා. මේ තත්ත්වය විසඳන්න නම් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් බදු නිදහස් කිරීම් ලබා දෙන්න එකඟ වෙන්න පුළුවන්.
VAT බද්දට බදු ආදායම් වැඩි කරගන්න හැකියාවක් තියෙනවා වුණත්, නිතර නිතර වැට් බද්දට කරන වෙනස්කම් නිසා වැට් බද්දේ දිගු කාලීන අරමුණ හරියට ඉෂ්ට වෙලා නෑ. තාවකාලික එකක් විදිහටයි ක්‍රියාත්මක වෙන ඒකට තියෙන්නේ කෙටිකාලීන දැක්මක්. මේ විදිහට නිතර ඇති වෙන වෙනස්කම් හින්දා ආදායම් එකතු කිරීම අඩු මට්ටමක තියෙන්නේ. විද්‍යාත්මක විශ්ලේෂණයක් සහ ආර්ථික තාර්කිකත්වයක් හරහා වැට් බදු අනුපාත, සීමාවන් සහ නිදහස් කිරීම් තීරණය කිරීම වඩාත් ස්ථායී ප්‍රවේශයක් නිර්මාණය කරන්න අවශ්‍ය වෙනවා. කුඩා වෙළඳුන් සඳහා හොඳින් නිර්වචනය කරපු සීමාවන් තියෙන බොහෝ භාණ්ඩ හා සේවා සඳහා වැට් බද්ද යෙදීමෙන් පවතින පසුගාමීත්වය අවම කරන්න පුළුවන්.