සකල ප්‍රශ්න වලට විසඳුම රාජ්‍ය අයිතිය නොවේ

Originally appeared on Facebook

By Rohan Samarajiva

අලුත් ම කතාව නම් මෙබඳු දුෂ්කර අවස්ථාවල ජනතාවට ආහාර සැපයිය හැකි එක ම ක්‍රමය එය වන නිසා රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතන තිබීම අත්‍යවශ්‍ය බව යි. ඊට පෙර කීවේ, චීනයේ සිර වී සිටි සිසුන් මුදාගැනීමේ එක ම ක්‍රමය එය වන නිසා මහජන මුදල් ගිලදමන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අවශ්‍ය බව යි. ඉතා ම දැනුම් තේරුම් ඇති උදවිය පවා හැම ප්‍රශ්නයට විසඳුම ඍජු රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අයිතිය ඇති සමාගම් යැයි පිළිගැනීමට පෙළඹෙති.

ඇඳිරි නීති අවස්ථාවේ ආහාර සැපයුමේ ඒකාධිකාරය සතොස හා ලක් සතොස ආයතනවලට ලබාදීම හේතු ගණනාවක් නිසා වැරදි ය. පළමුවැනි කරුණ නම් කොතරම් කැපවීමෙන් හා කාර්යක්ෂම ලෙස ක්‍රියා කළ ද, දශ ලක්ෂ 5.4ක් කුටුම්භවලට සැපයුම් ලබාදීමට ඔවුන්ට හැකියාවක් නොවීම යි. සාමාන්‍ය තත්ත්වයේ දී සැපයුම්කරුවන් රාශියක් විසින් භාණ්ඩ සැපයු වෙළෙඳපොළට සැපයීම් කිරීමට මුළු වෙළෙඳපොළෙන් කුඩා කොටසක් පමණක් හිමිව සිටි සැපයුම්කරුවකුට හදිසි නීතිය තිබු පමණින් හැකියාව ලැබෙතැයි බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එයට අවශ්‍ය සැපයුම් දාමය හෝ ධාරිතාව ක්ෂණයකින් සකසා ගැනීමට සතොසට හැකිවන්නේ නැත.

දෙවැනි කරුණ වන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරනු ලබන සම්මත බඩු මල්ල ලෙස වුවද, භාණ්ඩ මිල දී ගැනීම සඳහා ජනතාව අත මුදල් තිබිය යුතු වීම යි. පෞද්ගලික සිල්ලර වෙළෙඳුන්ට තම ව්‍යාපාර වසා තැබීමට සිදු වුවහොත් ඔවුනට සේවය කරන සේවකයන්ට මෙන් ම ඔවුන්ට සැපයුම් කරන ආයතනවල සේවකයන්ට ද රැකියා අහිමි වන අතර ඒ නිසා ම ඔවුන් අත මුදල් නැති වෙයි. දශ ලක්ෂ 5.4ක් වූ කුටුම්භ වෙත තම සම්මත බඩු මල්ල සැපයීමට යම් හෙයකින් සතොස සමත් වුව ද , එය මිල දී ගැනීමට ගැනුම්කරුවන් අත මුදල් නොමැති වුවහොත් සියල්ල නිෂ්ඵල බවට පත්වෙයි. කෙනකු අතේ මුදල් නැත්නම් ඔහුට හෝ ඇයට පරිභෝජනය කළ නොහැකි වෙයි.

තෙවැනි කරුණ නම් ආණ්ඩුව තීරණය කරන දේ පරිභෝජනයට මහජනයා පොළඹවා ගත හැකිය යන අදහස ම වැරදි එකක් වීම යි. 1970-77 කාලයේ දී බොහෝ දේ සිදුවුයේ ඒ ආකාරයෙනි. නමුත් මේ අද කාලය යි. ඒ අඳුරු අතීතය අභිබවා අප ඉදිරියට ගොස් ඇතැයි බලාපොරොත්තු විය යුතු ය.

සතොස වලිප්පුවට පහසු විකල්පයක් වන්නේ යම් අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක වීමට විශාල සුපිරි වෙළෙඳ ජාලවලට ඉඩ ලබාදීම යි. සැපයුම් ජාලය පවත්වාගෙන යාමේ සහ විද්‍යුත් වෙළෙඳාමේද හැකියාව (කීල්ස් වෙබ් අඩ්විය බිඳවැටී තිබුණ ද) ඔවුන් සතු ය. ඇඳිරි නීතිය ට පෙර සහ අතරතුර පාරිභෝගික ඉල්ලුම උච්චවු අවස්ථාවල ඔවුහු විශාල සේවයක් කළහ. හුරු පුරුදු වෙළෙඳ ආයතනවලින් මිල දී ගැනීමට ඉඩ දුන් විට විවේචනය කරන පන්ති ද නිහඬ වනු ඇත. එම ආයතන ඇත්තේ කිහිපයක් නිසා, ඇඳිරි නීති අවස්ථාවේ අනවසර ගමන් පාලනය අතින් හෝ මේවා නියාමනය කරගැනීම පහසු ය. 1989 දී ජවිපෙ එය රට පුරාම කළේ ය. 90,000 ක පොලිස් බලකායකට අද එය කළ නොහැක්කේ ඇයි ?

හොඳම තත්ත්වය නම් ආණ්ඩුව පහසු විකල්පවලට සීමා නොවීම යි. කුඩා මට්ටමේ සිල්ලර වෙළෙඳුන් කෙසේ හෝ පවත්වා ගෙන යා යුතු ය. පාරිභෝගිකයාට කිට්ටු ඔවුහු විශාල සේවයක් කරති. සෑම කුඩා කඩයක් ම ජීවනෝපාය රාශියකට ආධාර වෙයි. එසේ වුව ද ඒවා නියාමනය කිරීම අපහසුය. දන්න අඳුනන ළඟ පාත ගැනුම්කරුවන්ට ඇඳිරි නීතිය තිබියදීත් බඩු විකිණීමට ඔවුන් පෙළඹෙනු ඇත.

නියාමනයක් කුමටද?

එකිනෙකා අතර පවත්වා ගත යුතු දුරස්ථ භාවය තබාගන්නේ නැති ව පහසුවෙන් ජනයා එහා මෙහා යන තත්ත්වයක් ඇති වුවහොත්, රටට හා ජනතාවට විශාල ආර්ථික හානියක් ඇතිකරන ඇඳිරි නීතිය පවත්වාගෙන යාම අර්ථ ශුන්‍යවෙයි. පහුගිය දවස් වල සමහරු බෙහෙත් වට්ටෝරු පෙන්වා නෑ මිතුරන් ආශ්‍රය කරන්නට ආ ගිය බව පෙනෙන්නට තිබිණි. රජයේ ඔසුසල් හැර සියලු ම ඖෂධ අලෙවිසල් වසාදැමීම තරම් දරුණු තීරණයකින් තොරව මෙය පාලනය කළ හැකිව තිබිණි. කරුණු සොයා බලා නිකුත් කරන හදිසි නීති බලපත්‍ර මෙයට සරල විසඳුමක් නොවන්නේද? නමුත් අසාධාරණ ලෙස මේවා නිකුත්කිරීමට විරුද්ධ ආරක්ෂාවක් ලෙස දුන්නේ කාටද කිනම් හේතුවකට යන්න අන්තර්ජාලයේ පල කල යුතුය.

නියාමනයට තවත් හේතුවක් විය හැක්කේ මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයයි. ටින් මාළු සහ පරිප්පු සඳහා නියම කළ යථාර්ථවාදී නොවන මිල ගණන් වල ස්වභාවික ප්‍රතිඵලය වන්නේ සලාක ක්‍රම, සැපයුම අඩුවීම හෝ නැතිවීම සහ කළු කඩ ඇතිවීමයි. සලාක පවත්වා ගැනීම සහ පාඩුවට විකිණීම යන දෙක ම රජයට අයත් සිල්ලර වෙළෙඳ ආයතනවලට පහසුවෙන් කළ හැකි ය. රජයට අයත් ආයතන පවත්වාගැනීමට හේතුව එය ම බව කෙනෙකුට කිව හැකි ය. තම වියදම පියවා නොගත්තොත් බංකොලොත් වන පෞද්ගලික ආයතනවලට මෙන් නොව එපා කියන තෙක් පාඩු පිට විකිණීමට රජයට අයත් සිල්ලර වෙළෙඳසල්වලට හැකියාව ඇත. ඔවුන්ගේ පාඩු භාණ්ඩාගාරය, එනම් අප, විසින් දරනු ඇත.

රාජ්‍ය අයිතියට කළ නොහැකි එක දෙයක් නම් කළු කඩ නැතිකිරීමයි. 1970-77 කාලයේ පෙන්නුම් කළ පරිදි , දුර්ලභ භාණ්ඩ සඟවාගැනීමත් ඒවා වැඩිමිලට විකිණීම හෝ බලවතුන්ට අනුග්‍රහ ලෙස ලබාදීමත් සිදුවිය හැකි ය (සතොසේ සේවය කල මර්වින් සිල්වා දේශපාලනයට ප්‍රවේශවුනේ මේ ක්‍රමයෙන් බව තතු දන්නෝ කියති). පරිප්පු සහ ටින් මාළු කළුකඩ ජාවාරම දැනටමත් ආරම්භ වී තිබිය හැකි ය.

තරඟකාරී වෙළෙඳපොලක දී මිල පාලනය අවශ්‍ය නැත. ඇඳිරි නීතිය තුළ ලබාදෙන කාල සීමාවල දී හෝ බඩු බෙදාහැරීමේ දී සැපයුම්කරුවන් වැඩි ප්‍රමාණයකට ඉඩ ලබාදෙමින් ක්‍රියාත්මක කළ හැකි අසම්පූර්ණ හෝ තරඟකාරීත්වයක් පවත්වාගෙන යා හැකි ය.

රාජ්‍ය අයිතිය යෝජනා කිරීමේ ඇත්ත හේතුව

ආණ්ඩුවේ දැන් සිටින ප්‍රධාන තීරණ ගන්නා උදවිය අතරින් වැඩි දෙනෙකු හැදුණු වැඩුණු කාලය වන්නේ 1960 සහ1970 ගණන් ය. අඛණ්ඩව අළුත් දේ ඉගෙනීම පුරුද්දක් කර නොගත් උදවිය ඇද වැටෙන්නේ තමන් හැදුණු වැඩුණු කාලයේ උකහාගත් අදහස් වෙතට යි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස්ට වඩා හොඳින් මේ ව්‍යාධිය මට විස්තර කල නොහැක.

“ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලන දාර්ශනිකයන්ගේ අදහස් , එවා නිවැරදි වන විට හා ඒවා වැරදි වන විට යන අවස්ථා දෙකේ දීම, අප පොදුවේ තේරුම් ගන්නවාට වඩා බොහෝ බලවත් ය. සත්‍ය වශයෙන්ම ලෝකය පාලනය කරන වෙනත් දේ නැති තරම්ය. කිසිදු බුද්ධිමය බලපෑමකට තමන් හසු වී නැතැයි විශ්වාසකරන ප්‍රයෝගික මිනිස්සු, සාමාන්‍යයෙන් කිසියම් අක්‍රිය ආර්ථික විද්‍යාඥයකුගේ වහල්ලු වෙති. සුළගේ එන හඬවලට සවන් දෙන, බලයේ සිටින පිස්සු මිනිසුන් තම උමතුව පෙරාගන්නේ වසර ගණනකට පෙර ලියැවුණු ඇතැම් ශාස්ත්‍රීය ලියැවිලිවලිනි. අදහස්වල බලපෑම ව්‍යප්තවීම හා සසඳන විට පාර්ශවකරුවන්ගේ බලය විශාල ලෙස අතිශයෝක්තියට නඟා ඇති බව මගේ විශ්වාසයයි.

වයස අවුරුදු විසිපහ හෝ තිහ ඉක්මවූ පසු නව න්‍යායන්ගේ බලපෑමට ලක් වූ වැඩි පිරිසක් නැත. එබැවින් වත්මන් සිදුවීම් සඳහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් මෙන් ම උද්ඝෝෂකයින් පවා යොදාගන්නා අදහස් අලුත් ඒවා නොවේ. ඉක්මනින් හෝ කල් පසු වී, හොඳට හෝ නරකට බල පාන්නේ අදහස් ය.”

ප. ලි.

ආණ්ඩුවේ බලධාරීන්ගේ රාජ්‍ය කේන්ද්‍රීය සැලසුම් අසාර්ථක වන බව පෙනී පෙනී බකන් නිලා නොසිට තම දිවි පෙවෙත රැකගැනීමටත්, එමගින් ජනතාවගේ සාගින්න නිවීමටත්, සුළු ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. මධ්‍යම ආණ්ඩුවේ සහ වැඩ බලන පොලිස්පතිගේ නියෝග පසෙකින් තබා තමන්ගේ ප්‍රදේශ වල කඩ ඇරීමටත් බට්ටෝ වීල් යනාදිය මගින් වෙළෙඳාම කරන්නටත් ජනතාවට සමීප නිලධාරීහු ඉඩ දුන්හ. දඹුල්ලේ එළවලු අලෙවි කරගන්නට බැරි වීමෙන් විදහා දැක්වෙන සැපයුම් දාම වල ගැඹුරු ප්‍රශ්න ඉක්මණින් නොවිසඳුව හොත් මෙම තාවකාලික පැලැස්තර ගැලවෙන්නට ඉඩ ඇත. එසේ නොවේවා යයි අපි පතමු.

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය - Advocata

Originally appeared on Ada Derana, Citizen.lk, and Lanka News Today

Advocata Institute ‘කුඩා ව්‍යාපාර නියාමනය සහ පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ව්‍යාපෘතියේ නවතම වාර්තාව එළිදක්වයි

කොළඹ , ශ්‍රී ලංකාව - Advocata Institute නවතම වාර්තාව “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” 2020 මාර්තු 5දා පවත්වනු ලැබී ය . කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර මුහුණදෙන නීතිමය හා නියාමන බාධක ඉවත් කරගැනීම සදහා ඔවුන් දැන් කරගෙන යන කටයුතුවල කූටප්‍රාප්තිය ලෙස , රතු පටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව ලෙස මෙම උත්සවය වැදගත් වෙයි .

Advocata Institute තමන්ගේ නවතම වාර්තාව ලෙස “ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය වලට ඇති බාධා” වාර්තාව

ද එලි දක්වනු ලැබූ අතර දිවයින පුරා කළ සමීක්ෂණයකින් සකස් කළ වාර්තාවෙන් රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය පිලිබදව සමස්ත චිත්‍රයක් තේරුම්ගත හැකි වනු ඇත . මෙම ව්‍යවසායයන්ට මුහුණදීමට සිදුව ඇති මුල්‍ය, ලියාපදිංචිය, ඉඩකඩ සහ ශ්‍රමය ඇතුළු විවිධ නියාමන බාධක සමීක්ෂණය මගින් හෙළිදරවු කොට ඇත. මෙම බාධක අතරින් එකක් ගැන අවධානය යොමුකරන වාර්තාව එම ක්‍රියාවලිය විධිමත් හා යථාර්තවාදී කිරීමට නිර්දේශ යෝජනා කොට ඇත.මෙම වාර්තාවෙන් හදුනාගෙන ඇති මුලික කාරණයක් වන්නේ සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාව තුල අපහසු බවයි

පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මුහුණ

දෙන නීතිමය හා නියාමන බාධක හදුනාගැනීම , අධ්‍යයනය කිරීම හා ඒවා ඉවත්කිරීම වෙනුවෙන් පෙනීසිටීම යි . මෙහි මුල් පියවරක් වශයෙන් Advocata Institute “ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලට ඇති නීතිමය හා නියාමන බාධා” පිලිබඳ වාර්තාව එලි දක්වනු ලැබූවා. මෙහිදී නීතිමය හා නියාමන බාධක ඉවත් කළ යුතු හෝ සරළ කළ යුතු රජයේ ක්‍රියාවලි හා නීතී රීති පිළිබඳව ව්‍යවසායකයින්ට තම කලකිරීම හෝ අදහස් ඉදිරිපත්කිරීම සදහා www.redtape.lk වෙබ් අඩවියක් ද ආරම්භ කෙළේ ය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන ලද්දේ, තම ව්‍යාපාර ආරම්භ කිරීමේ දී මුහුණදීමට සිදු වූ බාධක හා ඔවුන් විශ්වාස කරන අන්දමට ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න අඩු කිරීමට හැකිවන ලෙස ක්‍රමය වෙනස් කළ හැකි ආකාරය ගැන විස්තර කරමින් සිංහල, දෙමල, සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා යොමු කරන ලෙස දිවයින පුරා ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිමින් Advocata Institute ක්‍රියාත්මක කළ අන්තර්ජාල රචනා තරගය මගිනි. මාඩසාමි සුවෙන්තිරන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය විකුම් රාජපක්ෂටත් තෙවන ස්ථානය එලිජා හූල්ටත් හිමිවී ය.

ආචාර්ය එස් රාජපතිරණ (සභාපති, අධ්‍යාපනික වැඩසටහන්, Advocata Institute) මිලින්ද රාජපක්ෂ (සභික , කොළඹ මහ නගර සභාව) සහ අචලා සමරදිවාකර (සම ආරම්භක සහ කළමනාකාර අධ්‍යක්ෂ , ගුඩ් මාකට් ආයතනය) සහභාගී වූ කණ්ඩායම් සාකච්ඡාවක් ද උත්සවයට ඇතුළත් විය . ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Advocata Institute) විසින් කණ්ඩායම් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

View this article in English here.

Advocata Institute ඉදිරිපත් කරන “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” විශේෂ වාර්ථාව සහ ව්‍යාපෘතිය මාර්තු 5 වැනි බ්‍රහස්පතින්දා

Originally appeared on Citizen, Daily FT, Daily News, and Daily Mirror.

Advocata Institute සුළු සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණදෙන නීතිමය ගැටලු ගැන නවතම අධ්‍යන වාර්තාවක් මාර්තු 5 වැනිදා ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ශ්‍රවනාගාරය, කොළඹ 07දී එළිදක්වනු ලබනවා. එම අධ්‍යන වාර්ථාව නම් කර තිබෙන්නේ “Legal and Regulatory Barriers for Micro and Small Entrepreneurs” (කුඩා ව්‍යාපාරිකයන්ට බාධා කරන නීති සහ රෙගුලාසි) යන නමින්. මේ වාර්ථාව පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසියන දීර්ග ව්‍යාපෘතියක ආරම්භයයි. ඒක පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් ලියාපදිංචි කිරීම ගැන මෙම වාර්තාවෙන් අවධානය යොමු කරනවා.

පොඩි ව්‍යාපාර පොඩි කරන රතු පටි රෙගුලාසි ව්‍යාපෘතියේ මූලික අරමුණ ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බාධා පමුණුවන අනවශ්‍ය නීති සහ රෙගුලාසි ඉවත් කිරීමට කතිකාවක් ආරම්භ කිරීමයි. එහි පළමු පියවර ලෙස Advocata Institute විසින් Legal and Regulatory Barriers for Micro and Small Entrepreneurs” (කුඩා ව්‍යාපාරිකයන්ට බාධා කරන නීති සහ රෙගුලාසි) යන විශේෂ වාර්තාව එළිදක්වනු ලබනවා. එම උත්සවයේදී කුඩා ව්‍යපාරිකයන්ට රතු පටි රෙගුලාසි නිසා ඇතිවන අපහසුතා පිලිබඳ ඔවුන්ගේ කඳුළු කතා සහ එම අපහසුතා වලින් මිදීමට රජයට ගත හැකි තීරණ භාරදිය හැකි වෙබ් අඩවියක් ද කුඩා ව්‍යාපාරිකයන් වෙත විවෘත කරනු ලබනවා.

මෙම කතිකාවතට සහභාගිවනේ ආචාර්ය සරත් රාජපතිරණ (සභාපති - අධ්‍යන අංශය Advocata

Institute), මිලින්ද රාජපක්ෂ (කොලඹ නගර සභා නාගරික මන්ත්‍රී), අචලා සමරදිවාකර (විධායක අධ්‍යක්ෂිකා සහ ප්‍රාරම්භක - Good Market) සහ ජනාධිපති කාර්ය මණ්ඩල නියෝජිත.

උත්සහවන්ත ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යවසායක කතාව ඉදිරිපත් කල #mystorylk තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමත් මේ උත්සවයේ අරමුණක්. තරඟයේ ජයග්‍රාහකයන් අතරින් ප්‍රථම ස්ථානයට රු. 100,000 ද , දෙවන ස්ථානයට රු. 50,000 ද, තෙවන ස්ථානයට රු. 25,000ක්ද තවත් සැනසිලි ත්‍යාග 10ක්ද පිරිනමනු ලබයි.

ඇතුල් වීම නොමිලේ!

මාර්තු 5 (බ්‍රහස්පතින්දා) සවස 6.00 සිට

ලක්ෂ්මන් කදිර්ගාමර් කෙන්ද්‍රයේ, ලයිට් හවුස් ආයතනය, කොළඹ 07

ආසන සීමිතයි. දැන්ම මෙතනින් ලියාපදිංචි වන්න :https://forms.gle/qU7ykDXnHfmV5uLL6

View this article in English here.

ඩොලර් මිලියන 480ක එම්.සී.සී ප්‍රධානය ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධනීය හේතුවක් නොමැත

Originally appeared on Citizen.lk

එම්.සී.සී. ප්‍රදානය පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රමාද කළහොත් ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඉඩම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට  ලැබීමට නියමිත පොලී රහිත ආධාර අහිමි විය හැකිය.

වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නන්ගේ උත්සහයන් සහ පාලක ‘සභාගය’ අතර දේශපාලන වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්සීසී.) ප්‍රදානයක් අහිමි වීමේ අවදානමක් ඇත. එම්.සී.සී. ප්‍රදානය, ශ්‍රී ලංකාවට මෙතෙක් තනි මූලාශ්‍රයකින් සැපයෙන විශාලතම ප්‍රදානය වන අතර රටේ ආර්ථික වර්ධනයට ඇති සමහර සංරෝධකයන් නිරාකරණය කිරීමට වටිනා අවස්ථාවක් ලබා දේ.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රදානය පිරිනැමීමට නියමිතව  තිබියදීත්, පවතින දේශපාලනික දුෂ්කෘතිය හේතුවෙන් රජය අවසන් ගිවිසුමට අත්සන් කිරීමට අපොහොසත් වී තිබේ. කැබිනට් අනුමැතිය නොලැබුනේ නම් සහ සැප්තැම්බර් 18 වන දින එම්.සී.සී. මණ්ඩල රැස්වීමට පෙර එකගතාවය අත්සන් කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට මෙම ප්‍රදානය අහිමිවීමේ අවදානමට ලක්ව ඇත.

එම්සීසී එකගතාවය යනු කුමක්ද?

එම්සීසී එකගතාවය යනු එක්සත් ජනපද රජයේ විදේශ ආධාර ඒජන්සියක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් අරමුදල් සපයනු ලබන ප්‍රදානයකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ප්‍රධානීන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියද, එම්.සී.සී. ස්වාධීනව වෙනම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. යහපාලනය සඳහා කැපවීම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආර්ථික නිදහස සඳහා ආයෝජනය කිරීම ඇතුළු විවිධ නිර්ණායකයන් මත රටවල් තෝරා ගැනීම සඳහා ආධාර ඒජන්සිය තරඟකාරී ක්‍රියාවලියක් භාවිතා කරයි. සුදුසුකම් ලත් රටවල්, ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් වලට පමණක් සීමා වේ.

2017 දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට වසර 5 ක ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කර තිබේ. තෝරාගත් රටවල් ආර්ථික වර්ධනය සඳහා ඇති බාධක හඳුනා ගැනීම සඳහා සංරෝධක විශ්ලේෂණ අධ්‍යයනයකට යටත් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ සහ එම්.සී.සී හි සහය ඇතිව ශ්‍රී ලංකා රජය විසිනි. 

හඳුනාගත් සංරෝධක මත පදනම්ව, සංයුක්තය සිය අරමුදල් මගින් වර්ධනය සඳහා වන තීරණාත්මක බාධක දෙකක් විසඳීමට උත්සාහ කරයි: (1) ප්‍රමාණවත් නොවන ප්‍රවාහන යටිතල පහසුකම් සහ සැලසුම්; සහ (2) කෘෂිකර්මාන්තය, සේවා අංශය සහ කාර්මික ආයෝජකයින් සඳහා ඉඩම් සඳහා ප්‍රවේශය නොමැතිකම. 

ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් කොළඹ අගනගරයේ බස් පද්ධති නවීකරණය කිරීමට සහ වඩා හොඳ රථවාහන කළමනාකරණයක් තුළින් මාර්ග ජාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ප්‍රවාහන වියදම් අඩු කිරීමට සහ රටේ මධ්‍යම කලාපය සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල වරාය සහ වෙළඳපොළවල් අතර සංචලතාව ඉහළ නැංවීමටද මෙම ව්‍යාපෘතිය මඟින් කටයුතු කරයි. ඉඩම් ව්‍යාපෘතිය ඉඩම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට සහ ඉඩම් තක්සේරුකරණ පද්ධති වැඩිදියුණු කිරීමට උත්සාහ කරයි. ජාතික ඔප්පු ලේඛනය ඩිජිටල්කරණය කිරීම සහ රටේ ඉඩම්වල නෛතික පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි ද මෙම ව්‍යාපෘතිය අවධානය යොමු කරනු ඇත.

විරෝධතාවයේ ස්වභාවය

ගිවිසුමට එරෙහි විරෝධතාවය වැඩි වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ බාහිර භූදේශපාලනික අභිප්‍රායන් පිළිබඳ  සහ ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවයට ඇති තර්ජන කෙරෙහි පවතින බිය මතය. එම්.සී.සී පිළිබඳ අතිශයෝක්තිය, අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) සහ බලකායන් ස්ථානගත කිරීමේ ගිවිසුම  (සෝෆා) අළුත් කිරීම සම්බන්ධ කතිකාව සමඟ ද බැඳී පවතියි. කෙසේ වෙතත්, එම්.සී.සී. ස්වාධීන සංවර්ධන නියෝජිතායතනයක් බවත්, ශ්‍රී ලංකා සංයුක්තය මිලිටරි ගිවිසුම් හා සම්බන්ධ නැති බවත් එම්.සී.සී ප්‍රකාශක වරුන් විසින් පැහැදිලිවම තහවුරු කර ඇත. ශ්‍රී ලංකා සංයුක්තයට ඔවුන් අතර ඇති සම්බන්ධතාවය අවම කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මෙම මිලිටරි ගිවිසුම් දෙක එතැන් සිට අත්හිටුවා ඇත.1

මෙම ව්‍යාපෘති හරහා එක්සත් ජනපද රජයට ඉඩම් අත්පත් කර ගැනීම සහ ශ්‍රී ලංකා භූමිය තුළ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා වන රහසිගත මෙහෙයුම් පිළිබඳව ද බියක් මතු වී ඇති අතර, ඉදිරි මැතිවරණයට පෙර එකගතාවය අනුමත කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්තට එය බාධාවක් වී ඇත. ඉඩම් ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු වලට අනුව (එය මුළු ප්‍රදාන අයවැයෙන් 14% ක් පමණක් නියෝජනය කරයි), විධිනියෝගය අපේක්ෂා කරන්නේ හුදෙක් රජයේ පරිපාලන ධාරිතාවය ශක්තිමත් කිරීමට සහ තාක්‍ෂණික වැඩිදියුණු කිරීම්වලට සහාය වීමට ය. ප්‍රදානයේ විශාල කොටස (ඇමරිකානු ඩොලර් මිලියන 350 ක ප්‍රවාහන ව්‍යාපෘතිය) පොදු ප්‍රවාහන යටිතල පහසුකම්1 ප්‍රශස්තීකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මතු වී ඇති බිය පිළිබඳ කිසිදු යථාර්ථික පදනමක් ඇති බවක් නොපෙනේ.

රට මැතිවරණයකට ආසන්න බැවින්, නව ජනවරමක් ඇති ජනාධිපතිවරයෙකුට එම්.සී.සී. පිළිබඳ අවසන් තීරණය ගැනීමට ඉඩ දිය යුතුය යන තර්කය නිසැකවම යෝග්‍ය වේ. නමුත් සැප්තැම්බර් කාලසීමාව අනුව, මෙය ශ්‍රී ලංකාවට බලා සිටීමට කාලයක් නොමැති විය හැක.

බලය පවරන එක්සත් ජනපද ප්‍රඥප්තිය විසින් සංවර්ධන ව්‍යාපෘති1 සඳහා අඩු ආදායම්ලාභී සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවලට අරමුදල් සැපයීමට පමණක් ඉඩ දී ඇති අතර, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වී ඇති හෙයින් මෙම ඒම්.සී.සී ප්‍රදානය ප්‍රාග්ධනීකරණය කරගැනීමට ඇති අවස්ථාව අහිමි වී යා හැකිය. එම්.සී.සී. සැප්තැම්බර් මාසයේ දී මණ්ඩලය රැස්වූ විට, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස රට වර්ගීකරණය කිරීමේ පදනම මත ප්‍රදානය සඳහා ශ්‍රී ලංකාව නුසුදුසු යැයි කල්පනය කළ හැකි බවට ඒම්.සී.සී.ය  ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

මෙම කාලසීමාව සැලකිල්ලට ගෙන, සැප්තැම්බර් 18 වන දින මණ්ඩල රැස්වීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් ප්‍රදානය පිළිබඳ අවසන් කැඳවීමක් කිරීම හදිසි කාරණයකි.

අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බොහෝ සෙයින් ධාවක වී ඇත්තේ රජය විසින් විශාල ලෙස වියදම් කිරීමෙනි. කෙසේ වෙතත්, දුර්වල බදු ආදායම (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.8%), ඉහළ අයවැය හිඟයන් (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%1) සහ දැවැන්ත ණය (සමස්ත රජයේ ණය 2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 82.8% ක්2 විය) සමඟ වර්ධනය සඳහා රජයේ වියදම් මත දිගින් දිගටම යැපීම තිරසාර නොවන තත්වයට පත්වී තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය මූලාශ්‍ර අතළොස්සක් වෙතින් ඉහළ ණය සංකේන්ද්‍රණයක් පැවතීම හේතුවෙන් බාහිර කම්පන සහ දුර්වල ජාතික සාර්ව ආර්ථික කළමනාකරණයට සහජයෙන්ම අවදානමට ලක්ව ඇත. 2018 දී, ශ්‍රී ලංකාවේ ණය ගැනීම් වලින් අඩක් පමණ පෞද්ගලික ප්‍රාග්ධන වෙළඳපොළවලින් ලබා ගත් අතර, 2018 දී ලබා ගත් මුළු ණය වලින් තුනෙන් එකක් පමණ චීනයෙන් පැමිණේ1. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය යන දෙකටම දැඩි අස්ථායී ඇඟවීම් දක්වයි. 

එම්.සී.සී. ප්‍රදානයට මෙම ගැටළු දෙකටම විසඳුම් සැපයිය හැකිය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සංවර්ධන මූල්‍ය ප්‍රභවයන් විවිධාංගීකරණය කරන අතරම ඉඩම් පරිපාලනය සහ අභ්‍යන්තර සංචලතා විකල්පයන් වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරයි. අසමාන සංවර්ධනය හා අවුල් සහගත ඉඩම් පරිපාලනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී තිබේ.

අවසන් පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයේ දී සහ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව, සංයුක්තය ආකර්ශනීය සංවර්ධන අවස්ථාවක් ඉදිරිපත් කරන බව පෙනේ. එම්.සී.සී. යනු ප්‍රදානයක් මිස ණයක් නොවන අතර එබැවින් ආපසු ගෙවීම අවශ්‍ය නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. නියමිත වේලාවට එකගතාවය අත්සන් කිරීමට රජය අපොහොසත් වුවහොත් සහ ව්‍යාපෘති තනියෙන් කිරීමට ගැනීමට උත්සාහ කරන්නේ නම්, එයට අවශ්‍ය අරමුදල් වෙනත් බාහිර ප්‍රභවයකින් ණයට ගැනීම අවශ්‍ය වේ. 

මේ වසර මුලදී රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර බැඳුම්කර වාර්ෂිකව 6.85% ක පොලී අනුපාතයකට නිකුත් කරන ලදී. අනාගත ණය ගැනීම් මෙයට සමාන තත්වයන් යටතේ සිදුවෙතැයි අපට උපකල්පනය කල හැක. මෙයින් අදහස් කරන්නේ රජය ණය මුදල ආපසු ගෙවීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ දැනටමත් වර්ධනය වෙමින් පවතින ණය තත්ත්වය වැඩි කරමින් ඒ සඳහා සැලකිය යුතු පොලියක් ද ගෙවීමට සිදුවන බවයි.

ප්‍රදානයට එරෙහිව තර්ක කිරීමට බලාපොරොත්තු වන්නන්, ඔවුන්ගේ තර්ක අප විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතු යයි සිතනවා නම් අදාළ ලියකියවිලි කියවා බලා නිසි සාක්ෂි සැපයිය යුතුය. මෙම අවස්ථාවෙහිදී, රජය විසින් සැප්තැම්බර් 18 ට පෙර එකගතාවය අත්සන් නොකිරීමට තීරණය කරන්නේ නම්, එය ජාතික ණය බර වැඩි කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය සංවර්ධනය ප්‍රමාද කිරීම තෝරා ගැනීමේ අවදානම දරා සිටී. එවැනි තේරීමක් පදනම් විය යුත්තේ හොඳ තර්කනයන් සහ සාක්ෂි මත ය. එය පුද්ගල ගැටුම්, නිරර්ථක බිය පතුවන්නන් හෝ සුළු දේශපාලනය නිසාවෙන්  නොවිය යුතුය.

View this article in English here.

අපේ තරුණ තරුණියන් විරැකියාවෙන් පෙළෙන්නේ ඇයි?

ලෝක යෞවනයන්ගේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කරන්නේ “වෙනසක් කිරීමට හැකි තරුණ තරුණියන්ගේ වාර්ෂික උත්සවය” කියා යි. ලොව පුරාම තරුණ තරුණියන් නවමු අදහස් සමඟ නව ස්වයං රැකියා අදහස් සමඟ ධනාත්මකව ඉදිරියට ම ඇදෙනු අපට දකින්නට ලැබේ. මේ ‘සහස්‍රයේ දරුවන්’ වනාහි, අලුත් ලෝකයක් වෙත මංපෙත් එළිපෙහෙළි කරමින් තමන්ගේ නවෝත්පාදන හැකියාවන් මිහිතලයට දායාද කරන සුරදූතයන් වැනියි.

නමුත්, අපේ රටේ දකින්නට ලැබෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් කථාවකුයි. අලුත් ලෝකයක් දායාද කරන සුර දූතයන් වෙනුවට අපට දකින්නට ලැබෙන්නේ දක්ෂතාවෙන් ඔප මට්ටම් වූ නමුත්, රැකියාවකින් තොර තරුණ සමාජයකුයි. වැඩිහිටි සමාජය මේ තරුණ පරපුර කුසීත, ගුණමකු, කම්කරු වෘත්තීන්ට අකමැති, සුවිසල් රැකියා නමැති ඉනිමඟට පය තබන්නට අකැමැති අය ලෙස හඳුන්වනවා. කලාපයේ ඉහළම සාක්ෂරතාවය ඇති රට වුවත්, දශක හතරක් පමණ පුරාවට විරැකියාවෙන් පෙළෙන තුරුණු සමාජයක් යනු, සැබැවින්ම සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාවකි. ගෞරවයෙන් නිරත විය හැකි රැකියා පෙළක් අපිට යෞවනය වෙනුවෙන් දායාද කළ හැක්කේ කෙසේ ද?

උගත්, විරැකියාවෙන් පෙළෙන යෞවනයන් ශ්‍රී ලංකාවේ අවිධිමත් ශ්‍රම බලකායෙන් 30%ක් නියෝජනය කරයි. මෙයට බොහෝ විට හේතු වන්නේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්වල ඇති අඬු ලුහුඬුතාවන් වුව ද ඉහළ අධ්‍යාපනය ලැබූවන් පෞද්ගලික අංශයේ රැකියාවන්ට යොමු නොවීම හෝ ඒවායේ සුදුසුකම් ඉක්මවූ අය බවට පත් වීම ද හේතුවක් වග දක්නට තිබේ. කෙසේ නමුත්, ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන්ට පිවිසීමට අකමැත්ත පළ කරන යෞවනයන් ද ඒ අතර වෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛන (2017) අනුව, රැකියා වෙළඳපොළ පුරප්පාඩු අඩුවෙන් ම සපිරෙන රැකියාවන් මෙසේයි:

  1. මහන මැෂින් ක්‍රියාකරුවන්

  2. ආරක්ෂක නිලධාරීන්

  3. වාණිජ්‍ය හා විකුණුම් නියෝජිතයින්

  4. වෙනත් නිෂ්පාදන කම්කරුවන්

  5. කාර්යයාල, හෝටල් සහ වෙනත් ආයතනවල පිරිසිදු කරන්නන් සහ සහායකයින්

මෙම දත්ත දෙස බලන විට, අවුරුදු 16ක් පුරාවට හොඳ අධ්‍යාපනයක් ලබා ඉහළ දැනුමක් සහිතව මෙවන් රැකියාවකට කෙනෙක් පිවිසෙන්නට මැළිවීම පුදුමයක් නොවෙයි. ඔවුන් අපේක්ෂා කරන්නේ ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, ජීවිත කාලය පුරාවටම රැඳිය හැකි සහ බදු ගෙවන්නන්ගේ මුදල් වලින් මහළු විය දක්වාම නිදහසේ යැපිය හැකි රජයේ රැකියාවක් ලැබෙන ‍තුරු බලා සිටීමට යි. ජනපතිවරණයක් හා මැතිවරණයක් කිටිටු කාලයකදී රජය ද මෙය ඡන්ද ලබාගැනීමේ හොඳ මාවතක් සේ සලකා පසුගිය මාසයේ උපාධිධාරීන් 16,000කට රැකියා ලබා දිනි. නමුත් දැනටමත් අතිරික්තව පවතින, අඩු වර්ධන වේගයක් දක්වන සහ අඛණ්ඩව ඉහළ විශ්‍රාම වැටුප් භාරයක් ජනතාවගේ කරපිට පටවන මෙම රාජ්‍ය අංශය වෙත කරන තව තවත් පත්වීම් යනු, තිරසාර බවින් තොර, දැඩි අස්ථාවර බවක් ජාතියට උරුම කරන ක්‍රියාවලියකි.

හිඩස වැසීම

“ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි.”

යෞවන සේවා නියුක්තියෙහි බහුතරයක් පෞද්ගලික අංශය සතු වන අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්ත වලට අනුව පෞද්ගලික අංශයේ පුරප්පාඩු වලින් ඉහළ නිපුණතා සහිත රැකියාවල නිරත වන්නේ 7.2% ක් පමණි. මන්දගාමී රැකියා උත්පාදනය ශ්‍රී ලංකා ආර්ථිකයේ කළු පැල්ලමක් බවට පත්ව ඇති අතර, අධික ලෙස රැකියා ආරක්ෂණ නීති සම්පාදනය සහ වෘත්තීය සමිතිවල විශෘල බලය සැලකිය යුතු ලෙස ශ්‍රම පිරිවැය ඉහළ නංවමින් රැකියා උත්පාදනය මන්දගාමී කරලීමට දායක වෙයි.

“මිලියන 1.5 ක් පමණ වූ ශ්‍රී ලාංකිකයන් විදෙස් රැකියා වෙත පිවිසෙති”

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිලියන 1.5 ක් පමණ (ගෘහස්ථ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් පහෙන් එකක්) වූ ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදෙස් රටවලට පිවිසෙති. සුදුසුකම් ලත් ශ්‍රමිකයන් 40% ඉක්මවා මෙම ගණයට අයත් වන අතර මින් පිළිබිඹු වන්නේ මෙරට ඇති අගනා අවස්ථාවන් ඔවුන්ට අහිමිව ගිය බවයි. දේශීය නිපුණතාවන්ට අවස්ථාවක් නොමැති මෙවන් ඉහළ, මධ්‍යම ආර්ථිකයක් වනාහි සැබැවින්ම දෑස් හැර බැලිය යුතු කාරණාවකි.

ජනගහනය තුළ වයස්ගත යැපෙන්නන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාව දැන් කළ යුත්තේ, ඉතා හොඳ රැකියා උත්පාදනයක් මඟින් තම ශ්‍රම බලකායෙහි උපරිම ප්‍රයෝජනය ලබමින් තිරසාර වර්ධන රටාවකට පිවිසීම යි. එයට හොඳ ක්‍රමයක් වශයෙන් සෘජු විදේශීය ආයෝජන සඳහා තරගකාරිත්වය සහ විවෘතභාවය වැඩි කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගොඩ නැගීම කළ හැකි බව පෙනේ. එමඟින් විදේශීය සමාගම් නව තාක්‍ෂණය හා වඩා හොඳ කළමනාකරණ භාවිතයයන් ශ්‍රී ලංකා වෙළඳපොළට විවෘත කිරීමෙන් වඩාත් ඵලදායී හා ඉහළ වැටුප් සහිත රැකියා උත්පාදනය වනු ඇත. වෙළඳ නිදහස මඟින් උගත් වෘත්තිකයන්ට ද කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් තුළ ඉහළ රැකියා අවස්ථාවන් දායාද වෙයි. නිවැරදි ප්‍රතිසංස්කරණයන් සමග විදේශ ආර්ථිකයන් හා සක්‍රීයව සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවේ උසස් රැකියා උත්පාදනයට පුළුල් ද්වාරයන් රැසක් විවෘත වන බැවින් රැකියා විරහිත පුහුණු උපාධිධාරීන් රැසකට ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් දිය හැකි වෘත්තීයයන් හි නියැලීමට අවස්ථාව උදා වෙයි.

එසේම, ලෝක ආර්ථිකය වැඩි වශයෙන් සේවා, පුද්ගලික පරිභෝජන සහ ඩිජිටල් අලෙවිකරණය වෙත යොමු වෙමින් පවතින සමයක, සාම්ප්‍රදායික රජයේ රැකියාවන් මත ම නොයැපී නවෝත්පාදන හා ස්වයං රැකියා අවස්ථාවන් වෙත යොමු වීමට තාරුණ්‍යයට මං පෙත් සැලසීම අත්‍යාවශ්‍ය කරුණකි. අප රටේ පර්යේෂණ හා සංවර්ධන ආයෝජනය රජයේ මුළු වියදමෙන් (2017) 0.07% ක් පමණක් වන අතර නව නිෂ්පාදන නිපදවීමේ සහ නව සොයාගැනීම් වලින්  ඉහළ ඵල නෙලාගැනීමට නම්, ඒ වෙනුවෙන් යොදන පෞද්ගලික හා මහජන අරමුදල් ප්‍රමාණය ද ඒ සමාන්තරව වැඩි කළ යුතුය. බුද්ධිමය දේපළ අයිතීන් වෙත වැඩි සහයෝගයක් ලබා දීම, වර්ධනය වන ව්‍යාපාරයන්ට මූල්‍ය සහයෝගයන් ලබාදීම සහ ඒවාට ඉහළට ඒමට අතදීම මඟින් ස්වයං ව්‍යවසායක තාරුණ්‍යයට මහඟු අත්වැලක් සැපයිය හැකිය.

ව්‍යවසායකත්වය (නව ව්‍යාපාර ඇරඹීම) සහ ආර්ථිකයට විවෘත වීම 

ශ්‍රී ලංකාව වඩාත් නව හා පුළුල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකත්වය මහත් පිටිවහලක් වේ. එමෙන්ම එය ඉන් නොනැවතී දේශීය හා ජාත්‍යන්තර වෙළඳපළ පුරා විවිධ කර්මාන්තයන් වල අතර තරඟකාරී බවක් හා උසස් තත්ත්වයේ රැකියා රැසක් නිර්මාණයට ද දායක වෙයි. නව නිපැයුම් නිෂ්පාදනය වෙත ආයෝජනය කිරීමෙන් ලෝක තාක්ෂණික දැවැන්තයන්ගේ අවධානය සහ ආයෝජනයන් පහසුවෙන් ළඟා කරගත හැකි බව ඊශ්‍රායලය සහ සිංගප්පූරුව වැනි කුඩා රටවල් හොඳින් පෙන්වා දී තිබේ. එම දෙරටෙහි ම තාක්ෂණයේ නිම් වළලු පුළුල් වන්නට හේතු සාධක වූයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සම-සහයෝගීත්වයෙන් ගොඩනැගූ ආර්ථික පරිසරය සහ විවිධාංගීකරණය වෙත නිදහසේ දෑත දිගු කිරීම යි. 

ශ්‍රී ලංකාව සිය තරුණ ශ්‍රමයෙහි උපරිම ඵල නෙලා ගන්නට අපේක්ෂා කරන්නේ නම්, ප්‍රථමයෙන් ශ්‍රම බලකායේ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ. එහි ලා සාම්ප්‍රදායයෙන් ඔබ්බට ගිය වෘත්තීය මාර්ගයන් ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය අතර වැඩි සබඳතාවක් ගොඩ නගාලීම අත්‍යවශ්‍ය වේ. ඒ හා විදේශීය සහභාගීත්වයට ඇති වත්මන් බාධකයන් ද ඉවත් කළ යුතු වේ. චින්තනයේ විවිධත්වය සහ නව අදහස් සන්නිවේදනය වූකලී නවෝත්පාදනයේ ප්‍රධාන ගාමක බලවේගය බවට සනාථව පවතින අතර, ජනතාවට හිතකර ප්‍රතිපත්ති, සහ ආයෝජන රෙගුලාසි ඉවත් කිරීම තුළින් ඒවා ප්‍රවර්ධනය කළ හැක. නවමු ශ්‍රී ලාංකික ආර්ථිකයක් සඳහා පදනම සැකසීමට නම්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විදේශ ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට සහ ගෝලීය ස්වයං ව්‍යවසාය පුරෝගාමීන්ගෙන් උගෙනීමට ඉඩහසර සැලසිය යුතුය.

සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ශ්‍රම ප්‍රවාහයන් විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවට දේශීය කුසලතාවන් පිටතට ගලා යන්නට නොදීම මඟින් පුද්ගලික අංශයේ දැනට ඇති අඩු-නිපුණතාමය පුරප්පාඩු සපුරාලන්නට හැකිවනු ඇත. ඉන්දියාව, නේපාලය සමඟ ගොඩනඟාගත් විවෘත දේශ සීමා ප්‍රතිපත්ති මඟින් දැන් අඩ සියවසකටත් වඩා කාලයක් තුරාවට ඔවුන් සාර්ථකත්වයේ ඵල නෙලා ගන්නා අතර දෙපාර්ශවයට ම වාසි සහගත විධිවිධානයන් ගොඩනගා ගෙන තිබේ. ගෝලීයකරණයට එරෙහි වීම වනාහි ඵලදායීතාව මන්දගාමී කරවන, ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ගෞරවණීය රැකියා අහිමි කරවන අසාර්ථක ක්‍රමවේදයකි. පණ අදින ආර්ථිකය වෙත තවත් බාධක පනවා එහි ගෙල සිරකරන්නේ නැතිව යෞවනය සතු බලය සහ ශක්තිය ඵලදායී වර්ධන ආර්ථිකයක් උදෙසා සකස් කරගැනීම කාලීන අවශ්‍යතාවයක්ව තිබේ.

ඉතින්, මේ ජාත්‍යන්තර යෞවන දිනයේදී අපි තරුණ තරුණියන් වෙනුවෙන් නැගී සිටිමු. අපේ සාම්ප්‍රදායික ඉහළ අපේක්ෂාවන්ට යටවී බලා හිඳනවා වෙනුවට අපි නිසි උපායමාර්ගයයන් යොදමින් ඉන් ගොඩ එන්නට උත්සාහ කරමු. යෞවනයන් යනු දේශීය ආර්ථිකයේ දීප්තිමත් අනාගතය බව දැන දැනත්, ඉතින් අපි ඔවුන් වෙනුවෙන් කිසිවක් නොකර සිටින්නේ කෙසේ ද?


නිශ්තා චාධා විසිනි.

View this article in English here.

අර්බුදයේ ගැඹුර

චන්ද්‍රා ජයරත්න

පරිවර්තනය- Advocata Institute

හැම රජයක්ම  පසුගිය කාලයේ උත්සහ  කළේ උපයන ප්‍රමාණයට වඩා පරිභෝජනයට රටත් මිනිස්සුන්වත් පුරුදු කරපු එක. ආර්ථිකය දියුණු කිරීමට කල් පවතින ප්‍රතිපත්ති ගෙන ඒම වෙනුවට පැවතුනු හැම ආණ්ඩුවක්ම කළේ තමන්ගේ සමීපතම ගජ මිතුරන්ට වාසි සැලසෙන (Crony capitalism) ආරක්ෂණවදී ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සහ එම ගජ මිතුරු නිළධාරීවාදය එක්ක දේශපාලන සමීපතමයන්ට වැඩිපුර සල්ලි හම්බකරන්න පුලුවන්  විදියට නීති වෙනස් කරපු (Rent seeking) එක විතරයි.

මේ ව්‍යයසනකාරී ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය අද අපිට ලැබිල තියනවා. අපි රටක් විදියට අද ජීවත් වෙන්නෙ අපිට ජීවත් වෙන්න පුලුවන් ධාරිතාවයෙන් ගව ගණනාවක්  ඔබ්බට ගිහිල්ල. [“living beyond our means”]

අපේ ආනයන අපනයන වගේ දෙගුණයක්. එම පරතරය පියවන්නේ සංචාරක කර්මාන්තයෙන්, විදේශ ශ්‍රමිකයන් එවන පිටරන මුදල් වලින් සහ දිනපතා වැඩිවෙන මහා ණය කන්දරාවකින්.

ණය මුදල් වාරික සහ පොළී මුදල් ගෙවීම දිගටම ඉහළ යමින් පවතිනවා. රුපියල අවප්‍රමාණ වෙමින් වියදම එන්න එන්නම වැඩි වෙද්දි සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙමින්  දුක් කන්දරාවක් විඳවනවා. ණය ගෙවන්න යන මුදල් ප්‍රමාණය වැඩි වෙන නිසාත් ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ආයෝජන අඩු කරන්න වෙලා තියන නිසා දැන් ආර්ථික වර්ධනය එන්න එන්නම අඩු වෙනවා. අපි විදේශ විනිමය/ මුදල් උපයන වේගයට සහ ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් විදේශ මුදල් ණයට ගැනීම නිසා අර්බුදයේ සංකීර්ණම අවස්ථාවට දැන් අපි පැමිණ තිබෙනවා. එම සංකීර්ණ අර්බුදයේ සංකේත ආර්ථිකයේ දැනටම දැකිය හැකියි. [සටහන 1]

රටේ ආර්ථිකයේ [ සාර්ව ආර්ථිකයේ] පෙනෙන අර්බුදයට වඩා ගැඹුරු අර්බුදයක් සාමාන්‍ය මිනිසුන්ගේ නිවාස වල ආර්ථිකයේ ජනිත වෙමින් පවතිනවා. ආර්ථික වර්ධනය අඩුවීම, රුපියල අවප්‍රමාණ වීම, රැකියා අඩු වීම, අදායම අඩු වීම නිසා සෑම නිවාස කුටුම්බයක්ම ණය අර්බුදයක හිර වී තිබෙනවා [සටහන 2]

මේ මොහොත වනවිට රටේ ආර්ථිකයේ අර්බුදයත් ගෙදර ආර්ථිකයේ අර්බුදයත් එකිනෙකට එක් වෙමින් දේශපාලන අර්බුදය සමඟ එක්ව ඉතා තීව්‍ර ආර්ථික කැළඹීමක් ඇතිකර අවසානයි  

මේ අර්බුදයට විසඳුම කුමක්ද?

මුලින්ම අපි දැවෙන ආර්ථික අර්බුදයක සිටින බවත් එම අර්බුදයෙන් ගොඩ ඒමට පහසු මාර්ගයක් නොමැති බවත් පිළිගන්න අවශ්‍යයයි. මෙම අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන් එකම ක්‍රමය මහන්සි වී වැඩ කිරීමත් අපගේ පරිභෝජනය පිලිබඳ සිතා බැලීමත් පමණයි.

දෙවනුව සියලුම පක්ෂ ජාතික මට්ටමේ එකඟතාවයක් ඇති කරගත යුතුයි. සියලුම මට්ටම් වල සමාජ නායකයන් සහ ආගමික නායකයන් මහන්සි වී වැඩ කිරීම පිලිබඳව, තම තරඟකාරීත්ය්වයෙන් තොරව ව්‍යාපාර වලට වාසි ලැබෙන නීති රීතිවලට එරෙහිව (Rent seeking) , සේවයකින් ලබා දීමෙන් තොරව/ වටිනා කමක් එකතු කිරීමෙන් තොරව මුදල් උපයන රැකියා වලට එරෙහිව සමාජය දැනුවත් කලයුතු සේම සමාජ මතයක් ගොඩ නැගිය යුතුයි.

තෙවනුව , දූෂණය, නාස්තිය සහ සුපෝගභෝගී පාරිභෝජන රටාව නැවැත්විය යුතුයි.

සිව්වෙනුව යටිතල පහසුකම් දියුණු කිරීමේ ප්‍රමුඛතාව කෙටිකාලීන අවශ්‍යතා වලින් තොරව දිගු සහ මධ්‍යකාලීන ඉලක්ක කරා යොමුවිය යුතුයි. උදා: අධිවේගී මාර්ග වෙනුවට රේල් පාරවල්, විශාළ වාරි කර්මාන්ත ව්‍යාපෘති වෙනුවට කුඩා වැව් සහ වාරි කර්මාන්ත


සටහන 1

2011 වසරේ විදේශ ණය වාරික සඳහා ගෙවීම ඇමරිකන් ඩොලර් බිලියන 1. එය වසර 7ක් තුල දෙගුණයක් කරමින් 2017 වසරේදී විදෙශ ණය වාරික ගෙවීම් සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 2ක් ගෙවිය යුතුයි. වසර දෙකකදි ණය වාරික දෙගුණ වෙමින් 2019 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන 4 ක් ගෙවිය යුතුයි. අවුරුදු 5 ඩොලර් බැඳුම්කර සඳහා පොළී අනුපාතිකය 2016 දී පැවති 4% පොළී අනුපාතිකය දැන් 9% දක්වා ඉහළගොස් තිබෙනවා. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන මුදල් ප්‍රමානය අවම වන අතර අපනයන, ආනයන වලට සාපෙක්ෂව වර්ධනය වන්නේ ඉතාම සෙමින්. සැබවින්ම භයංකාර අර්බුදයක්.  

සටහන 2

2016 දී ජන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ ගෘහස්ත ආදායම් වියදම් සමීක්ෂණයට [House hold income and expenditure survey - HIES] අනුව නිවසක සාමාන්‍ය ආදායම රු. 62,227ක් වන අතර ගෘහස්ත මාසික වියදම රු. 54,999. සියලුම නිවාස වලින් 60% ක් පමණ රු. මිලියන 1.4ක ණය ප්‍රමාණයකට [ එක් නිවාස ඒකකයක් ] යටත් වී තිබෙනවා. ඒ අනුව රු. 7,238 ක ඉතුරු මුදලින් ණය මුදල පමණක් පියවීම සඳහා අවම වශයෙන් මාස 193ක [අවුරුදු 16ක් ] කාලයක් ගතවනවා. ආර්ථික වර්ධනය අවම වුවහොත් මෙම කාලය තවත් දීර්ඝ වනු ඇති.

සටහන 3

වාණිජ බැංකු ණය මුදල් ආපසු අය කරගැනීමේදී  ලක්ව ඇති අභියෝගය තහවුරු වන්නේ නිසි පරිදි නොගෙවන ණය ප්‍රමාණ වලින් [Non performing loans - NPL]. ස්වාධීන Moody’s ආයතනයට අනුව 2018 මාර්තු මාසයේදී නිසි පරිදි නොගෙවන ණය වල වාටිනාකම වත්කම් වල ප්‍රතිශතයක් [Non performing loan as a percentage of assets] ලෙස 2.7% සිට 3.0% දක්වා ඉහල ගියා.

සංවර්ධනයට දොර හරින ආගමනය

 ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අපනයන සීමා වීම හා ඍජු විදේශ ආයෝජන මඳ බව යන ගැටලුවලින් මිදීමට ආගමන සීමාකරණ ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව හාවඞ් මහාචාර්ය හඋස්මාන් පෙන්වා දෙයි.

  • පවතින ප්‍රචලිත විශ්වාසයට පටහැනිව යමින් ආගමන සීමාකරණ ඉවත් කිරීමෙන් රැකියා අවස්ථා, ආයෝජන සහ වැටුප් වැඩිවීම සිදුවන බව කියයි.​

  • ප්‍රගතිශීලි ආගමන ප්‍රතිපත්තිවලින් හෙබි රටවල්  ආර්ථික වර්ධනය ලබාගත් අයුරු වර්තමාන උදාහරණ කන්දරාවකින් පෙන්වයි.​

  • ශ්‍රී ලංකාවේ යල් පැනගිය නීති ප්‍රතිසංස්කරණය කොට සරල හා පුළුල් වීසා කාණ්ඩ ඇති කිරීමේ අවශ්‍යතාව මතු කරයි.

  • නිපුණතා රට තුළට ගලා ඒමෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව නොදැනුවත් මිථ්‍යා මත නිසා වෘත්තිකයෝ නොමඟ යති.

ආගමනය පිළිබඳ නීති සංශෝධනයට ලක්කොට වඩා ප්‍රගතිශීලී වූ නීති හරහා ජනයාට නිදහසේ සංචරණය වන්නට ඉඩ හැරීම මඟින්, අපනයන අඩු බව, ඍජු විදේශීය ආයෝජනවල මඳ බව, නවීකරණ සීමාවීම යන ශ්‍රී ලංකාවේ කාලයක් පුරා පවතින ආර්ථික අභියෝගවලට විසඳුම් සොයා ගත හැකි බව ඉහළම ගණයේ ආර්ථික විශේෂඥයෙක් පසුගියදා දින ප්‍රකාශ කළේය. ශ්‍රම වෙළෙඳ පොළ විවෘත කොට කඩිනම් ප්‍රවර්ධන අත්කර ගත්තා වූ රටවල් පිළිබඳ උදාහරණ දක්වමින් හෙතෙම මෙම පැහැදිලි කිරීම කළේය.

එම දේශනය ඉදිරිපත් කළ මහාචාර්ය රිකාඩෝ හඋස්මාන් හාර්වඞ්හි අන්තර් ජාතික සවර්ධනය පිළිබඳ අධ්‍යක්ෂවරයාත්, කෙනඩි රාජ්‍ය විද්‍යාතනයේ ව්‍යාපාරික ආර්ථික සංවර්ධනය පිළිබඳ මහාචාර්යවරයාත් වෙයි. කොළඹ ඇඞ්වොකේටා බුද්ධි මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සංවර්ධනය උදෙසා විශේෂඥ දැනුම වෙත සමීපවීම යන තේමාව ඔස්සේ සිය දේශනය ඉදිරිපත් කළ මහාචාර්ය හඋස්මාන්ද වෙනිසියුලාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට පැමිණි අයෙකි. වඩා හොඳින් කළමනාකරණය කරනු ලැබූ ආගමන විගමන ක්‍රියාවලියක් රටක ආර්ථිකය වර්ධනය කරමින් යහපත සැලසීමට මහෝපකාරී වන ආකාරය ඔහු පැහැදිලි කළේය.

සංවර්ධනය වෙමින් පවතින ලෝකයට නෙළා ගන්නට පහතින්ම තිබෙන ඵලය එයයි. ඵලදායීතා වැඩි කිරීමට ඇති වේගවත්ම මඟ එයයි. එමඟින් ශ්‍රී ලංකාව කෙරේ ආයෝජන ඇද ගනු ලැබ එය වඩා ශක්තිමත් රටක් බවට පත් වනු ඇති

“සංවර්ධනය වෙමින් පවතින ලෝකයට නෙළා ගන්නට පහතින්ම තිබෙන ඵලය එයයි. ඵලදායීතා වැඩි කිරීමට ඇති වේගවත්ම මඟ එයයි. එමඟින් ශ්‍රී ලංකාව කෙරේ ආයෝජන ඇද ගනු ලැබ එය වඩා ශක්තිමත් රටක් බවට පත් වනු ඇති” ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂක සමූහය ඉදිරියේ ඔහු කීවේය.

ඔබට ඇති නිපුණතා සමඟ, ඔබට ඇති රට ඔබට හිමිවෙයි. එහෙත් ඔබේ නිපුණතා ලද පමණින් ඔබට අවශ්‍ය රට ඔබට නොලැබෙනු ඇත. එමනිසා ඔබ නව නිපුණතා සොයාගත යුතුය. අනෙක් ජනයා ශ්‍රී ලංකාව තුළ පදිංචියට එන්නේ නම් එසේ එන්නේ, අනෙක් අයගේ රැකියා සොරා ගන්නට නොවේ. නිත්‍ය වශයෙන්ම ඔවුන් මෙහි එනුයේ රැකියා අවස්ථා වඩාත් නිර්මාණය කරන්නට සහ ස්වදේශිකයන්ට වැඩිපුර මුදල් උපයා දෙන්නටත්ය. ඔවුන් ශ්‍රී ලංකාවට එන්නට තීරණය කිරීම නිසා එමඟින් ඔබේ රට පිළිබඳ යහපත් හැඟීමක් ඇති වන්නේය. එහි අරුත ඔබ නිවුණු ජන කොට්ඨාසයක් බව සිතන ජනයා ලොව  තවත් ඉන්නා බවය. එතැන ජීවත් වීම සඳහා අනර්ඝ තැනක් වග ඔවුන් සිතනා බවයි’ ඔහු කීවේය.

සීමාකරණ ඉවත් කළ ශ්‍රම වෙළෙඳ පොළ තමන්ට තර්ජනයක් යයි වෘත්තිකයන් සිතා සිටීම ස්වාභාවික දෙයකැයි මහාචාර්ය හඋස්මාන් පිළිගත්තේය. එහෙත් රටවල් එකින් එක ගත් විට ආගමන නිසා රැකියා අවස්ථා නිර්මාණය වීම සහ වැටුප් ඉහළ යාම සිදුවනු විනා එහි විරුද්ධාර්ථය සිදු නොවීම පිළිබඳ උදාහරණ ලැබෙන බව ඔහු අවධාරණය කළේය. ශ්‍රමය නිදහසේ සංචරණය වීමට ඉඩ හැරීම මඟින් ආර්ථිකය වඩා තරගකාරී වන බවත්, කර්මාන්ත වඩා ලාභදායී බවට පත් වන බවත් ස්ථිර ලෙස කියා සිටි ඔහු ආගමනය නිසා රැකියා අවස්ථා උදුරා ගනිතැයි යන අදහස ආර්ථිකය පිළිබඳ සංවේදී බවකින් පළ නොකරන්නකැයි සඳහන් කළේය. 

ශ්‍රී ලාංකීය තොරතුරු තාක්ෂණය උදාහරණයට ගත් ඔහු වඩා සමෘද්ධිමත් ඉන්දියානු වෙළෙඳ පොළ හා ඒකාබද්ධ කළහොත් ලැබෙන වාසි පිළිබඳව කරුණු දැක්වූයේය. එසේම ඉන්දියානු, තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ පැමිණීමෙන් ඊට බලපෑමක් ඇති නොවන්නේ ස්වදේශීකයන්ට වඩා වැඩි වැටුප් ඔවුන් ලබන බැවිනි. එම හේතුව නිසාම සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව වෛද්‍යවරුන් ඉදිරිපත් කරන තර්ක ද, නිශේධ වන බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය.

අවසානයේ ප්‍රශ්න ඇසීමේ හා පිළිතුරු දීමේ වාරයකින් සමන්විත වූ පැයක් පුරා පැවති මෙම දේශනයේදී අඩු ඵලදායිතාවකින් සහ වැඩි නිෂ්පාදනයකින් හෙබි කෘෂි කර්මාන්තය වැනි කර්මාන්ත පිළිබඳව මහාචාර්ය හඋස්මාන් විස්තර කළේය. “ලෝකයේ විවිධ රටවල එකම අවස්ථාවකදී වෙනස්කම් පවතින්නේ තාක්ෂණික දැනුම පිළිබඳ සම්බන්ධතා අධිකව පැවතීම හෝ නොතිබීම හේතුකොට ගෙනයි. කාර්මික රටවල ගොවීන්ට වඩා දියුණු වෙමින් පවතින සාම්ප්‍රදායික ගොවීන් දැනුමෙන් පොහොසත්ය.” 

එසේ වුවද දියුණු රටවල ගොවීහු නවීන ගොවීහු ආම්පන්න (යන්ත්‍රෝපකරණ), ඉහළ අස්වනු ලැබෙන බීජ, වඩා හොඳ පොහොර හා හොඳ වෙළෙඳ පොළ සම්බන්ධතා නිසා සාම්ප්‍රදායික ගොවීන්ට වඩා ඉහළ ආදායමක් ලබා ගනිති. සිංගප්පූරුව, මැලේසියාව, බංග්ලාදේශය, තායිලන්තය හා වියට්නාමය යන රටවල් සමඟ සැසඳූ විට ශ්‍රී ලංකාව තම අපනයන ගොන්නට නව නිෂ්පාදන එක් කර ගන්නට අපොහොසත්ව ඇති බව මහාචාර්ය හඋස්මාන් සඳහන් කළේය. එසේ අපනයනවල පවතින සීමිත බව ඊට අනුරූපව සෑම අංශයක් කෙරෙහිම පහසුවෙන් පැතිර යයි. මෙම තත්ත්වය හා බැඳුණු ඍජු විදේශ ආයෝජන හිඟය ඇතුළු ශ්‍රී ලංකා ආර්ථිකයේ අනෙකුත් ගැටලුවලට ආගමනය මඟින් විසඳුම් ලැබීමේ හැකියාව පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

“ආර්ථිකයක් වර්ධනය වනුයේ එහි නිෂ්පාදන ගොන්නට නව භාණ්ඩ හා සේවා එක්වීමෙන් විනා එකම වර්ගයේ භාණ්ඩ තව තවත් නිෂ්පාදනය වීමෙන් නොවේ. එවැනි විවිධාංගීකරණයකට දොරගුලු හැර දෙනුයේ නව තාක්ෂණික දැනුම කෙරේ ප්‍රවේශ වීමේ ක්‍රියාවලියයි. නිරන්තරයෙන්ම එම නව විශේෂඥ දැනුම විදේශයන්ගෙන් පැමිණිය යුතුයි. මෙසේ වනුයේ නිරන්තරයෙන්ම දැනුම රැගත් මොළය අලුත් රටකට ගෙනයාම, නව දැනුම මොළයකට ගෙනයාමට වඩා පහසු වන නිසාය. සිංගප්පූරුව, ඉන්දියාව, වියට්නාමය සහ අනෙකුත් ගතික (ප්‍රගමණයට ලක් වන) ආර්ථිකයන්ගේ අත්දැකීම් අනුව නව දැනුම/ විශේෂඥ ඥාණය හුවමාරු වන ප්‍රධාන ධාරා තුනකි. ඒවා නම් ඍජු විදේශ ආයෝජන, ආගමන සහ ඩයස් පෝරා දැල් රටාය. (ඩයස් පෝරා දැල් රටා යනු මවුබිමෙන් ඈත වෙසෙන පුද්ගල කණ්ඩායම්වල ව්‍යාපාරික දැල් රටා) යයි ඔහු ප්‍රේක්ෂක සභාවට පැවසීය.

වෙනත් රටවල විදේශයන්ගෙන් පැමිණ ඒවායේ ජීවත් වන විදේශිකයන් එම රටවල ජනගහනයේ වැදගත් ජන කොටසක් බවට පත්ව ඇත්තේ කෙසේද යන්න මහාචාර්ය හඋස්මාන් දත්ත ඉවහල් කරගෙන පැහැදිලි කළේය. ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් හත් දෙනෙකුට එක් අයෙකු විදේශිකයකු යයි ගණන් බලා තිබේ. ඒ අතර සිංගප්පූරුවේ දෙදෙනකුට එක් අයෙක් විදේශිකයෙකි. ශ්‍රී ලංකාව තුළ තත්ත්වය මීට හාත්පසින් වෙනස්ය. මෙහි පුද්ගලයන් 535 කට එක් අයෙක් විදේශිකයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙට්රියොට් හා සිලිකන්වැලී වැනි වාහන නිෂ්පාදනාගාර ඇති මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කොට ඇත්තේ රට තුළට විදේශවලින් පදිංචියට පැමිණි අයයි. ෆෝචූන් (ත්‍දරඑමබැ) සඟරාවේ ශ්‍රේණිගත කිරීම්වල මුල් 500ට අයත් සමාගම් ආරම්භ කොට ඇත්තේ විදේශවලින් පැමිණ පදිංචිවූවන් හෝ ඔවුන්ගේ දරුවන් විසිනි. බංග්ලාදේශයේ වඩා සාර්ථකත්වයට පත් ඇඟලුම් කර්මාන්තය ආරම්භ කොට ඇත්තේ කොරියානු සමාගමක් විසිනි. එහි සේවය කළ සේවකයෝ පසු කලෙක තමන්ගේම ව්‍යාපාර ආරම්භ කළහ. බැංගලෝරය සහ හයිද්‍රාබාදය නිදහස් ආගමන සම්බන්ධතා නිසා සමෘද්ධිමත් බවට පත් නගර දෙකකි. ඉන්දියානුවන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ව්‍යවසායකයන් බවට පත්වූයේ ඒවා නිසාය.

විදේශ සහයෝගය සහ විශේෂඥ දැනුම ලබා ආරම්භ වුණු ලෝඞ්ස්ටාර් (ඛද්ාිඒර) වැනි ශ්‍රී ලංකා සමාගම් කිහිපයක් ඇති බව ද මහාචාර්ය හඋස්මාන් සඳහන් කළේය. ඵ්ී වැනි ලාංකීය ඇඟලුම් කර්මාන්ත ශාලා ලෝකයේ හොඳම කර්මාන්ත ශාලා බවට පත්ව ඇතැයි ඔහු කරුණු පැහැදිලි කරමින් කීවේය.

මේ සියලුම ධනාත්මක වූ සාධනීය ගති ලක්ෂණ පැහැදිලි ආගමන විගමන ක්‍රියාදාමයකට ඉඩ සැලසීම හරහා ප්‍රචාරණය කළ හැකි යයි ඔහු තවදුරටත් කීවේය. අප ශ්‍රී ලංකාවේ ආගමන ප්‍රතිපත්තිය, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, පැනමා, සවුදි අරාබිය, තායිලන්තය, වියට්නාමය යන රටවල් හා සසඳන විට වඩා සාර්ථක රටවල, වඩා සාර්ථක ආගමන ප්‍රතිපත්තියක් ඇති බව පැහැදිලි වනවා. ඒ සමඟම ඒවායේ ඇති නීතිවල ස්වභාවය ද ඉන් පෙනී යනවා. උදාහරණයක් දක්වන්නේ නම්, නුපුහුණු ශ්‍රමිකයන් උදෙසා විවිධ වීසා නීති ඔවුන් සතුයි. එසේම අර්ධ පුහුණු ශ්‍රමිකයන්ට, පුහුණු වන්නන්ට, කළමනාකාරවරුන්ට හා ඉහළ වෘත්තිකයන්ට වෙනම වීසා එම රටවල හඳුන්වා දී තිබෙනවා. ඉහළ නිපුණතාවෙන් යුතු අයට ශ්‍රී ලංකාවට පැමිණීමට සාමාන්‍ය පරිදි අවසර දෙනවා. එහෙත් ඔවුන්ගෙන් යැපෙන්නන්ට වැඩ කිරීමේ අවසර දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වෘත්තිකයන් විවාහ වී සිටින්නේ බොහෝ විට තවත් වෘත්තිකයකු සමඟයි. ඔබ විවාහ වී සිටිනා විට ඔබේ භාර්යාව එක්කර ගෙන එන්නට ඉඩ නොදෙන්නේ නම් ඇයට වැඩ කරන්නට ඉඩ නැත්නම් එය ගැටලුවක් වෙනවා.

මගේ අදහසේ හැටියට ශ්‍රී ලංකාව ආගමන ක්‍රියාදාමය සරල බවට පත් කළ යුතුයි. වීසා ලබාදීමේ කාණ්ඩ නැතහොත් ප්‍රවර්ග වැඩි කළ යුතුයි...

‘මගේ අදහසේ හැටියට ශ්‍රී ලංකාව ආගමන ක්‍රියාදාමය සරල බවට පත් කළ යුතුයි. වීසා ලබාදීමේ කාණ්ඩ නැතහොත් ප්‍රවර්ග වැඩි කළ යුතුයි. එවිට ඔබේ රට අන් අය වඩාත් ඇදගන්නා ආකර්ෂණීය ස්ථානයක් බවට පත්වෙනවා. පදිංචිය සඳහා මාවතක් සකස් කළ යුතුයි. බොහෝ රටවල කරන ආකාරයෙන් එවැනි අයට පුරවැසිභාවය ලබාදීමට කටයුතු කළ යුතුයි. ඇත්ත වශයෙන්ම දැන් ශ්‍රී ලංකාවෙන් පිටතට සංක්‍රමණය වී පුරවැසිභාවය අත්හල ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රී ලංකාවේ පදිංචි වන්නට අවසර නැහැ. මෙය ඇදහිය නොහැකි තත්ත්වයක්. මේවා පවතින ක්‍රියා පද්ධතිය තුළ ඇති අකාර්යක්ෂමතා බැවින් ඒවා නැවත හොඳින් සකස් කළ යුතුයි.’

කෙසේ වුවද ශ්‍රී ලංකාව තුළ පවතින සියලුම ආර්ථික ගැටලු ආගමන ප්‍රතිපත්තිය මඟින් විසඳාලිය නොහැකි බව ද ආචාර්ය හඋස්මාන් පිළිගත්තේය. රජය විසින් වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණය, මූල්‍ය සංස්ථාපනය සහ යටිතල පහසුකම් සංවර්ධනය ආදී අනෙකුත් ප්‍රතිපත්ති නිසි පරිදි පවත්වාගෙන යා යුතුය.

“කරන්නට වටිනා ඕනෑම දෙයක් වඩා හොඳින් කිරීම වඩාත් වටිනවා. එනිසා වර්ධනය කළ යුතු අනෙක් බොහෝ දේ තිබෙනවා. මා සිතන අයුරු ශ්‍රී ලංකාව, ආයෝජකයන් දැඩි ග්‍රහණයට ගෙන, ඒ අය පාලනය කිරීමෙන් ඔබ්බට යා යුතුයි. පිටරටවලට ගොස් ආයෝජකයන් සෙවීමෙන් සහ ආයෝජකයන් මෙහි ආ යුත්තේ මන්දැයි කරුණු පහදමින් සිටීමෙන් ඔබ්බට යා යුතුයි. අප එම දිසාවට හැරවීමට උත්සාහ ගනිමින් ඊධෂ (ආයෝජන මණ්ඩලය) සහ ෑෘඊ (අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ කටයුතු කර තිබෙනවා. මම පැය පහක් තිස්සේ මහනුවරටත් පැය පහක් තිස්සේ මහනුවර සිටත් රථය ධාවනය කළා. මම නැවත නම් මහනුවරට එසේ රථය ධාවනය කරාවි යයි සිතන්නට බැහැ. අනිවාර්යයෙන්ම යටිතල පහසුකම් ක්‍රියාත්මක විය යුතුයි. එය වියදම්කාරී වුවත් ඒ සඳහා ඔබ මූල්‍ය අවකාශ පාදා ගත යුතුයි’.

සියලු රටවල ආගමන විරෝධී හැඟීම් මූලික කරගත් මතවාද පැවතුණ ද එම මතවාද ශක්තිමත් විනිවිද පෙනෙන සුළු ආගමන නීිති මඟින් සමනය කළ හැකි බව ඔහු සඳහන් කළේය. එක්සත් රාජධානිය පවා බ්‍රෙක්සිටිවලින් පසු (අන්‍ය යුරෝපීය ජාතීන්ගෙන් වෙන්වීමේ ප්‍රතිපත්තියෙන් පසුව), ආර්ථිකයේ ශක්තිමත් බවට පහර වදින වෙනස්කම් ඉක්මනින් නවතා දමන අතරතුර වීසා නීති සිත් ගන්නා ආකාරයෙන් සකසන්නට ක්‍රියා කළ බව ඔහු සඳහන් කළේය.

නව වීසා නීති සකස් කිරීම උදෙසා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ආගමන හා විගමන පාලක එම්.එන්. රණසිංහ මහතා පැවසීය. එමඟින් නව වීසා කාණ්ඩ, වීසා ලබා දීමේ ක්‍රියාවලියට ඇතුළත් කිරීමට නියමිත බවත් පැවසීය.

මහාචාර්ය හඋස්මාන්ගේ දේශනයේදී පැනනැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, මෑතකදී කැබිනට් පත්‍රිකාවක් අනුමත වී ඇති බව සඳහන් කළ රණසිංහ මහතා, වර්තමාන අභියෝගවලට මුහුණ දිය හැකි පරිදි ශ්‍රී ලංකා ආගමන නීති යථාවත් කිරීම ඉතාමත් වැදගත් වන බව සඳහන් කළේය.

“මේ වනවිට අප කටයුතු කරන්නේ 1948 හඳුන්වා දුන් නීතිය අනුවයි. එමනිසා ආගමන අභියෝගවලට මුහුණ දෙන්නට එම නීති යාවත්කාලීන කොට වැඩ සැලැස්මක් හඳුන්වාදිය යුතු වෙනවා’ ඔහු කීවේය.

‘එසේම අලුත් කැබිනට් අනුමැතිවලින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාටත් අනෙකුත් ඉහළ නිලධාරීන්ටත් තීරණ ගැනීම උදෙසා වැඩි බලයක් ලබා දී තිබෙනවා’ ඔහු තවදුරටත් කීවේය. වර්තමානයේ නොපවතින කාලීන අවශ්‍යතාවක් සේ දිස්වන වැඩ කිරීමේ අවසරය ලබාදෙන වීසා ඇතුළු නව වීසා කාණ්ඩවලින් හෙබි කාර්ය පද්ධතියක් උදෙසා වූ, පරිපූර්ණ ප්‍රතිපත්ති ස්ථාපනය කිරීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එසේම අන්තර් ජාතික වාණිජ හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ද ඊළඟ සති දෙක තුළදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ස්වදේශික වෘත්තිකයින්ගේ සංවිධානවලට, වීසා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කොට ඇති තමන්ගේ නව වෘත්තීය සුදුසුකම් ඇත්තන් පිළිබඳ පරීක්ෂණ කරමින් සහ සම්බන්ධතා පැවැත්වීමට ඉහත කී කැබිනට් පත්‍රිකාවෙන් ඉඩ සැලසේ.

මෙම පියවර ගෙන ඇත්තේ වෘත්තිකයන්ගේ විවිධ සමිති සමාගම්වලින් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව බව නිලධාරියා පැවසීය.

උදිත ජයසිංහ විසිනි ඬේලි එෆ්.ටී. පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ සමන් පුෂ්ප ලියනගේ.

මිල පාලනය සහ වෙනිසියුලාවේ අර්බුදය

වෙනිසියුලාවේ දරුණු තත්වයක් උද්ගත වී ඇත.  ජාත්‍යන්තර වාර්තා වලට අනුව වෙනිසියුලාවේ  ආර්ථිකය පසුගිය වසරේ පමණක් 10% කින් පමණ හැකිලී ඇත.  මේ වසර අග වන විට එම රටේ ආර්ථිකය 2013ට සාපේක්ෂව 23% අඩු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.  වෙනිසියුලාවේ උද්දමනය 1600% කින්  වැඩි වී ඇත.  ආර්ථික දත්ත වලට වඩා ශෝකාන්තය, එහි ඇති මනුස්ස ජීවිත පිලිබඳ කතාය.  එක් වාර්ථාවකට  අනුව, දරුණු ආහාර හිඟය නිසාම දැන් වෙනිසියුලාවේ  ජනතාව සුනඛයන් පවා ආහාරයට ගැනීමට පෙළඹී ඇත. අනෙත් අතට පසුගිය වසරට සාපේක්ෂව ඔවුන්ගේ බර කිලෝ ග්‍රෑම් 8.7කින් පමණ අඩු වී ඇත.

වෙනිසියුලාවේ දරුණු යුද්ධයක් නොමැත.  අපරාධ රැල්ලක්, නියඟයක් හෝ වෙනත් ස්වභාවික ව්‍යසනයක්  හෝ නොමැත. අවුරුදු 50කට පෙර වෙනිසියුලාව ලතින් ඇමරිකාවේ ඉතා ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි.  ආර්ථික වශයෙන්ද බ්‍රිතාන්‍යට ආසන්න මට්ටමක  පැවත තිබිණි.  වෙනස් වුයේ කුමක්ද? ඔවුන් අනුගමනය කල වැරදි ආර්ථික ප්‍රතිපත්තිය පමණි. වෙනිසියුලාවේ උද්ගත වී ඇති මෙම තත්වය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය මත පදනම් වූ විහින් ඇති කරගත්  තත්ත්වයකි.  

වෙනිසියුලාවේ ආර්ථිකය බොර තෙල් මත පදනම් වූවකි .  එරට අපනයනයන්ගෙන්  90%ක් ම පදනම් වී ඇත්තේ බොර තෙල් මතය.  ඇතැම් විශ්ලේෂකයන් මෙම කඩාවැටීම තෙල් මිල පිළිබඳ තත්වයක් ලෙස හඳුන්වයි.  නමුත් සත්‍ය ඊට වඩා වෙනස්ය.  2000 වර්ශයට ආසන්න කාල වලදී බොර තෙල් බැරලය $100 කට වඩා අධික මිලකට ඉහල ගියේය.  එයින් රහ වැටුනු සහ කෙටි කාලීන ආර්ථික මිථ්‍යා වලින් අන්ධ භක්තිකවූ ජනාධිපති  හියුගෝ චාවේස් තම බලය තහුවුරු කර ගැනීම පිණිස "චාවිස්මෝ" නමැති ජනතාවාදී යි කියා ගත් ප්‍රතිපත්ති අනුගමනය කෙළේය.  නමුත්,  2014 වන විට තෙල් බැරලයක මිල කඩා වැටෙන්නට පටන් ගත්තේය.  සිදුකළ යුතුව  තිබුනේ වෙළඳපොළ  ආර්ථික න්‍යායට අනුව තම මුදල වන බොලිවාර් අවප්‍රමාන ('බාල්දු') කිරීමයි. නමුත් එවිට ආනයනය කරන බඩු වල මිල ඉතා ඉහළ යනු ඇත.  මෙය තමන්ට අවාසි සහගත බව තෙරුම්ගත්  රජය , තම මුදල් අනුපාතය ව්‍යාජ ලෙස ඉහළ පවත්වා ගෙන ගියහ.  ආනයනද සීමා කළේය.  

නමුත් සිදුවූයේ වෙනත් දෙයක් ය.  ආනයන අඩුවනවාත් සමඟම වෙළඳපොළ තුල ඇතිවූ භාණ්ඩ හිඟය නිසා බඩු මිල ඉහල යන්නට පටන් ගත්තේය.  විසඳුමක් ලෙස රජය විකුණුම් මිල පාලනය කෙරෙන මිල පාලන නීති ගෙන ආවේය.  නමුත් එම උත්සහයද අසාර්ථක විය.   තෙල් ආදායම නැතිව වෙනිසියුලාවේ අයවැය පරතරය වැඩි විය. සිදුවිය යුතුව තිබුනේ වියදම් අඩු කිරීමය, නමුත් පිළියමක්  ලෙස එරට මුදල් අච්චු ගැසීමට රජය යොමු විය  . එහි ප්‍රතිඵලය වූයේ පාලනය කල නොහැකි තරම් වූ උද්දමනයකි.   

හියුගෝ චෑවේස් ජනාධිපති ධූරයට පත්ව වැඩි කල් නොගොස් විදේශ විනිමය සඳහා මුදල් පාලන මණ්ඩලයක් අලුතින් පත් කළේය. අනතුරුව මූලික ආහාර 400 ක් පමණ සංඛ්‍යාවක් සඳහා මිල පාලනය කරන ලෙස නියෝග ගෙනෙන ලදි . ඒ මිල පාලනය ගෙනාවේ “උද්ධමනය වළක්වා ගැනීමට සහ දුප්පතුන් බේරා ගැනීම” සඳහා බව චෑවේස්ගේ රජය රටවැසියන්ට පොරොන්දු විය.

බොහෝ රටවල් වල මිල පාලනය ගෙන එන්නේ  රටේ උද්ධමනය පාලනය කර ගත හැකි ක්‍රමයක් හැටියට පෙන්වමිනි. රටක බඩු මිල  ඉහළ යද්දී රටවැසියන් දකින්නේ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරන බඩුවල මිල ඉහළ දමන ආකාරය පමණයි. ඒ නිසා මිල පාලනයක් ගෙනැවිත් ව්‍යාපාරිකයන්ට බඩු මිල ඉහළ දැමීම තහනම් කිරීමෙන් රටේ උද්ධමනයක් ඇතිවෙන්නේ නැතැයි සිතන්නට ජනතාව හුරු වී සිටිති.

නමුත් සැබෑ ලෝකයේ දී, යම් රටක ඉහළ යන බඩු මිල ගණන් යනු උද්ධමනයක් හටගෙන ඇති බව පෙන්වන ප්‍රධාන ලක්ෂණයයි. උද්ධමනයක් ඇතිවෙන්නේ විශාල වශයෙන් රටේ මුදල් ප්‍රමාණය වැඩිකරන ලද නිසයි. ඉතින් උද්ධමනය යනු බඩු මිල ඉහළ යෑම කියනවා වෙනුවට, ආණ්ඩුව විසින් මුදල් ප්‍රමාණය වැඩි කිරීමට මැදිහත් වී සිටීම යැයි කීම වැඩියෙන් නිවැරදි හැඳින්වීමයි.

මිල යනු සියලු රටවැසියන් තම ආර්ථික කටයුතු වල දී තමන් වෙනුවෙන් අරමුණු කරගත් සැලසුම් සඳහා තීරණ ගන්නට පාවිච්චි කරන අතකොලුව නැතහොත් ඒකකයයි. සෑම වෙළඳපොළක්ම, සෑම කර්මාන්තයක්ම, සෑම වෘත්තියක්ම, සෑම නිෂ්පාදනයක්ම, සෑම පරිභෝජනයක්ම හෙවත් සියලුම ආර්ථික කටයුතු අතර සුසංවාදය පතුරුවන්නේ සහ ආර්ථික කටයුතුවල යෙදෙන සියලුම දෙනාටම වැඩි යහපත ඉටුවන්නේ   මිල පාලනයක් නොමැති නිදහස් වෙළඳපොළ ක්‍රමය තුළයි.

ඉල්ලුම සහ සැපයුම යන නිර්ණායක දෙක මත මිල ස්වභාවිකවම පාලනය වේ. කොතරම් බලවතෙකු  වුවත්,හියුගෝ චෑවෙස්ගේ කැමැත්ත නිසා වූවත්, වෙනස් කරන්නට බැරි වූවකි, මිල යන ස්ංකල්පය . අස්වාභාවික වූ මිල පාලනයකින් සිද්ධ වෙන්නේ හොඳ මුදල් වලින් මිල දී ගත හැකි බලය නරක මුදල් මත පැටවීම බව ලොවට මුලින්ම හෙළිදරව් කරන ලද්දේ 1914 දී ‘ආර්ථික නීති ධර්මතාවයේ පාලනය’ (Control of Economic Law) ලියූ ඉයුජින් වොන් බොයිම්-බ්‍රැවර්ක් විසින් ය.

මුදල් ප්‍රසාරණය සහ මිල පාලනය නිසා අද අසරණ වී සිටින්නේ වෙනිසියුලාවේ රාජ්‍ය පාලන බලයේ සිටින අය නොවෙති. මුදල් පාලනය සහ මිල පාලනය පැවතිය ද, වටිනාකම වේගයෙන් පහත යන  මුදල් නෝට්ටු අතැතිව, බඩු හිස් කඩ රාක්ක දිහා බලමින් කුසගින්නේ පෙළෙන්නේ අද වෙනිසියුලාවේ බලයේ සිටින අය නොව එහි ජීවත්වන අහිංසක වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන්ය.

වෙනිසියුලාවේ කතාව ශ්‍රී ලංකාව වැනි රට වලට කදිම නිදසුනක් සපයයි .  එකක් ඊනියා ජනතාවාදී ප්‍රතිපත්ති යනු හුදෙක් සීමිත පිරිසක්  බලයේ සිටීමට ගන්නා වංක තීරණ බවයි. අනික මිල පාලනය වැනි ප්‍රතිපත්ති වල ඇති චපල බවයි.  වෙනිසියුලාවේ තරම් නැතත් මිල පාලන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ යම් කර්මාන්ත අංශ වල ක්‍රියාත්මක වේ. මෙම මිල පාලන ප්‍රතිපත්ති එම කර්මාන්ත ක්ශේත්‍ර වල  වල දියුණුවට පැහැදිලි බාධා පමුණුවයි.  

සිංගප්පූරුවක් වෙන්නට අපිට පුළුවන් කියමින් කාලයෙන් කාලයට පාරම්බාන  ශ්‍රී ලංකාව අද බංකොළොත් වී ඇති වෙනිසියුලාවේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පටන්ගෙන ඇත්තේ මන්දැයි කණගාටුවෙන් වුවත්  ඇසිය යුතු ප්‍රශ්නයකි.

අරුණි ශපිරෝ සමග  ඇඩ්වොකාටා ආයතනය.  www.Advocata.org

ආර්ථික නිදහස සහ ආර්ථික වර්ධනය

ආර්ථිකයන් ගැන කතා කිරීමේ දී නිරන්තරයෙන් අසන්නට ලැබෙන ගැටළුවලින් එකක් වනුයේ ආර්ථික වර්ධනය කෙරෙහි තුඩු දෙන හේතු සාධක මොනවාද යන්නයි. 1776 දී පළ කෙරුණු ඇඩම්ස් ස්මිත්ගේ සුපතළ ග්‍රන්ථයෙහි සම්පූර්ණ ග්‍රන්ථ නාමය වන ‘ජාතීන්ගේ ධනයේ හේතූන් හා ස්වභාවය ගැන විමසීමක්‘ දෙස අවධානය යොමු කිරීමේ දී ස්මිත්ගේ මූලික අවධානය යොමුව ඇත්තේ සෞභාග්‍ය සඳහා හේතුවන කරුණු පිළිබඳව බව පැහැදිලි වේ. ඔහු එය අවසන් කරනුයේ නිදහස් වෙළෙඳපොළ ක්‍රමයක් තුළින්, පුද්ගලික දේපළ හිමිකම සුරැකෙන බව හා ආර්ථිකය තුළ ආණ්ඩුවේ අවම සහභාගීත්වය, සෞභාග්‍ය වෙත මෙහෙයවනු ලබන බව කියාපාමිනි. එය වෙනත් ලෙසකින් විග්‍රහ කළහොත් ආර්ථික නිදහස, ආර්ථික වර්ධනයට හේතුපාදක වන බවයි.

ස්මිත්ගේ මෙම නිගමනය විසිවන සියවස දක්වා පොදුවේ අර්ථ ශාස්ත්‍රඥයින් පිළිගනු ලැබූවකි. විශේෂයෙන් ඌන සංවර්ධිත ආර්ථිකයන් වඩාත් සමෘද්ධිත් බවට පත්කිරීමෙහිලා මධ්‍යගත සැලසුම්කරණය ආණ්ඩුවේ පාලනය අවශ්‍ය බවට ආර්ථික න්‍යායන් ගොඩනැඟෙද්දී සම්ප්‍රදායික ආර්ථික න්‍යායන් ප්‍රතිවර්තනය වීමක් සිදුවිය. විසිවන සියවස අවසානයේ දී ඇඩම් ස්මිත්ගේ අදහස් වෙත අර්ථ ශාස්ත්‍රඥයින්ගේ අවධානය නැවත වරක් යොමුවන බවක් පෙනෙන්නට තිබිණි. ලොව පුරා මධ්‍යගත සැලසුම්කරණ ආර්ථිකයන් ගණනාවක්ම බිඳ වැටෙද්දී ඔවුන් එසේ නොකර සිටින්නේ කෙසේද? ආර්ථික න්‍යයායන් උපුටමින් ඉදිරියට යාමේ දී නිර්බාධ ප්‍රත්පත්තීන් ආර්ථික වර්ධනය සඳහා හොඳම ක්‍රමය වන්නේ දැයි යන්න පිළිබඳ අභියෝගයක් තවදුරටත් පවතිනු ඇත.

ඇඩම් ස්මිත් විසින් සිය න්‍යාය තුළින් ඉදිරිපත් කළේ සෞභාග්‍ය කරා ළඟාවීමට තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් අවශ්‍ය බවයි.එවැනි පසුබිමක දී සිය වඩාත් ජනප්‍රිය නිරීක්ෂණ අතුරින් එක් දෙයක් ස්මිත්ගේ අවධානයට යොමුවිය. එනම් සමස්ත සමාජයට යහපතක් සිදුකරනා දෙය අදිසි හස්තයක් මගින් මෙහෙයවන්නේ නම් පුද්ගලයින් ඒ සඳහා කැමැත්තක් දැක්වීමයි. තරඟකාරී වෙළෙඳපොළක දී සම්පත් විභජනය ප්‍රවර්ධනය කිරීමට, අවම බදු හා රජයේ වියදම්, පුද්ගලික දේපළ අයිතිය සුරැකීම, ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා පහළ මට්ටමේ තීරුබදු ආදිය ස්මිත් ගේ අදහස විය. වෙනත් ලෙසකින් දක්වතොත්, වෙළෙඳපොළ වාතාවරණය නිර්මාණය කිරීමකින් පවත්වාගෙන යන ලද්දක් නම් ආර්ථිකය වර්ධනය හා සෞභාග්‍ය කරා යාමට අවස්ථාව ඇතිබවට ස්මිත් තර්ක කළේය.

ඊට දශක කිහිපයකට පසු ඩේවිඩ් රිකාඩෝ මේ හා සම්බන්ධ තවත් අදහසක් පළ කළේය. නිදහස් වෙළෙඳාම ජනප්‍රිය කරලීමේ ක්‍රමයක් ලෙසින් තීරුගාස්තු අවම ලෙස පවත්වා ගෙන යාම ඔහු අවධාරණය කළේය. 1817 දී මුල්වරට පළ කෙරුණු ඔහුගේ ප්‍රසිද්ධියට පත් ග්‍රන්ථයක් වන ‘දේශපාලන ආර්ථිකයේ මූලධර්ම‘(Principles of Political Economy) හි මේ බව සඳහන් විය. බොහෝ විට රිකාඩෝ ගේ මෙම විවරණය, පුද්ගලයින් අනෙකා සමඟ ගනුදෙනු කිරීමේ දී තරඟකාරී වාසි අත්පත් කර ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඔවුන් විශේෂඥභාවයක් ලබා ගන්නා බවට කතිකා කෙරිණි. ස්මිත්, රිකාඩෝ සහ තවත් බොහෝ දෙනෙකු විසින් බ්‍රිතාන්‍ය හා තවත් ආර්ථිකයන් තුළ රජයේ මැදිහත් වීම සම්බන්ධයෙන් පළ කළ අදහස්, එම ආර්ථිකයක් නිදහස් ලෝක ආර්ථික බවට පත් වී දහනව වන සියවසේ පෙර නොවූවිරූ ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට මුල්විය.

දියුණුව ගැන තවත් මතයක්

ආර්ථික නිදහස ආර්ථික වර්ධනය සදහා මූලික කරුණ වුවත්, එය මෙම සියවසේ දී මීට පෙර සෘජුව අභියෝගයට ලක්නොවිණි.එය එසේ වූයේ ආර්ථික න්‍යායන්වල සංවර්ධනය පූර්ණව සිදුනොවීම හා ලෝක තත්ත්වයන් ද සම්පූර්ණ නොවී ම හේතුවෙනි. සියවසේ හැරවුමට ආසන්නවත්ම, විශේෂයෙන් භෞතික විද්‍යාව වැනි දෘඪ විද්‍යාවන්ගේ ආසන්නයට ආර්ථික ක‍්‍රමවේදයන් ගමන් ගැනුණි. සංකීර්ණ ගණිතමය ආකෘති ගොඩනැගීම හරහා ආර්ථික විද්‍යා න්‍යායන් සංවර්ධනය වුණි. ආර්ථික විද්‍යාඥයින්ගේ වෘත්තීය, මෙකී විපර්යාසයන්ට සහාය දෙමින් ආර්ථිකය පිළිබද වඩාත් විද්‍යාත්මක හැදෑරීමක් තුළින් වඩාත් සුදුසු ප‍්‍රතිපත්ති හා වඩාත් හොද සෞභාග්‍යයක් කරා යොමුවිය.ගණිතමය විග‍්‍රහයේදී ආර්ථිකයක නිමැවුම් නිෂ්පාදන ශ‍්‍රිත හරහා විස්තර කළ හැකිය. මන්ද නිමැවුම් යනු ඉඩම්, ශ‍්‍රමය හා ප‍්‍රාග්ධනය වැනි යෙදවුම්වල ඵලයක් වන බැවිනි. යෙදවුම් වැඩිවන තරමට නිමැවුම් වැඩිවේ. යෙදවම් හා නිවැමුම් අතර පවත්නා සම්බන්ධතාවය පිළිබද පැහැදිලි ගණිතමය අර්ථ දැක්වීමක් ගෙනහැර පෑමට නිෂ්පාදන කාර්යයන්ට මෙහිදී හැකිවනු ඇත.

1930 දී ලෝක මහා ආර්ථික අවපාතයෙන් පසු ලෝකය යථා තත්ත්යට පැමිණීමේ දී සංවර්ධිත ආර්ථිකයන් රැසක්ම මෙම ගමන්මගේ බොහෝ දුර පැමිණ තිබිණි. ආර්ථිකයේ වඩාත් විද්‍යාත්මක කළමනාකරණ අනුගත වීමක් තුළින් වඩාත් නිවැරදි ආර්ථික තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන් 1920 දී ආර්ථික පර්යේෂණ ජාතික කාර්යාංශය ස්ථාපිත කරනු ලැබීය. 1936 වසරේ දී ජෝන් මේනාඩ් කේන්ස් විසින් රචිත ‘ශ‍්‍රමය, පොළිය හා මුදල් පිළිබද පොදු න්‍යාය‘ කෘතිය එළිදැක්වීමත් සමග ආර්ථික විද්‍යාවෙහි කේනීසියානු විප්ලවය ඇතිවිය. නවීන ආර්ථිකයන් හි  සෞභාග්‍ය රදවා තබා ගැනීමටත් ඔවුන්ව කළමනාකරණය සදහා සක‍්‍රීය රාජ්‍ය ප‍්‍රතිපත්ති යොදා ගැනීම කේනීසියානු ආර්ථික විද්‍යාවේ දී අභියෝගයට ලක්කෙරිණි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව මෙම මතවාද ද්විත්වය ආර්ථික වර්ධනය පිළිබඳ සම්මුතිගත න්‍යයායන් මුළුමනින්ම වෙනතකට යොමු කරලීමට හේතුවිය.

ලෝක යුද්ධයෙන් අනතුරුව තවත් ආර්ථික අවපාතයක් පිළිබඳ විමසුම් ඇස යොමුව තිබූ කලෙක, මුල් පෙළේ ආර්ථික විද්‍යාඥයින් තර්ක කළේ සෞභාග්‍ය පවත්වාගෙන යාම සඳහා ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය අවශ්‍ය බවයි. ආර්ථික වර්ධනය, ඇඩම් ස්මිත්ගේ වකවානුවේ පටන් ආර්ථික විද්‍යාවේ වැදගත් අංශයකි. එය සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වාගෙන යාමේ අරමුණුවල වැදගත්කම සාපේක්ෂව පහළ දැමීය. ඌන සංවර්ධිත ආර්ථිකවලට ආර්ථික වර්ධනය තවදුරටත් වැදගත් කරුණක් විය. කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කළේ, සංවර්ධිත අර්ථක්‍රමවල දී සිදුකළ අයුරින්ම මෙම ආර්ථිකයන් හිදී ද ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමෙන් වර්ධනය ළඟා කර ගත හැකි බවයි.

යෙදවුම් පිළිබඳ අවධානය, ආර්ථිකයේ රජයේ කළමනාකරණය ඉහළ යාම හා ඈඳීමත් පිළිගැනීම සමඟම ආර්ථික විද්‍යාඥයින් නිර්දේශ කළේ, ඌන සංවර්ධිත රටවලට ආර්ථික වර්ධනය නිර්මාණය කර ගැනීම සඳහා රජයේ සැලසුම්කරණය හොඳම ක්‍රමය බවටයි. ඔවුන් එය මධ්‍යගත සැලසුම්කරණය නමින් හැඳින්විය. ආර්ථිකයන් සිය ආදායම් සඳහා ප්‍රමාණවත් කොටසක් ආයෝජනය කිරීම ගැන වගකීමට හැකිවීම, ආර්ථිකයේ ඉහළ වටිනාකමක් ඇති ක්ෂේත්‍ර වෙත ආයෝජනයන් ගලා යාම පිළිබඳ මඟ පෙන්වීමට හැකිවීම (නිදසුන් ලෙස, කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත්වලින් ඈත්වීම හා නිෂ්පාදන කර්මාන්තය වෙත යොමුවීම), සහ නවීන තාක්ෂණික අගයයන් සඳහා නව ආයෝජන තහවුරු කිරීමට පුළුවන් වීම මෙමඟින් විවරණය කෙරිණි.

මෙහිදී ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් ඌන සංවර්ධිත ආර්ථිකයන් සඳහා මධ්‍යගත සැලසුම්කරණයට යොමු වීමට දිරිගන්වන ලදී. එසේම ඌන සංවර්ධිත ආර්ථිකයන් වෙත මූල්‍ය සහයෝග ලබා දෙමින් ප්‍රාග්ධන ආයෝජන ඉහළ නැංවීමටත් හා නවීන තාක්ෂණයට අනුගත වීමටත් මඟපෙන්වනු ලැබීය. එක්සත් ජනපදය වැනි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයන් හා සාපේක්ෂව වුවද ආර්ථික විශේෂඥයින් විසින් ආර්ථික වර්ධනය සඳහා එයාකාරයේ ප්‍රතිපත්තීන් ඌන සංවර්ධිත රටවලට යෝග්‍ය බව කියා සිටී. එහෙත් ඛේදජනක කරුණ නම් ලොව පිළිගත් ආර්ථික විද්‍යාඥයින්ගේ පවා උපදෙස් අනුව ක්‍රියාත්මක වී එවැනි ප්‍රතිපත්තීන් අනුගමනය කළ රාජ්‍යයන්වල ආර්ථිකයන් වර්ධනය නොවීමයි. ඇඩම් ස්මිත්ගේ උපදෙස් කෙරෙහි නැවත හැරී බැලීමක් සිදුකිරීමට ඔවුන් කටයුතු කළ යුතුව තිබිණ.

වර්ධනය පිළිබඳ මත දෙක

ආර්ථික වර්ධනය පිළිබඳව ඉහත විස්තර කර ඇති මත දෙක පිළිබඳ පුළුල් අවධානයක් මෙහිදී යොමු කෙරේ. මේ දෙකම සත්‍ය ලෙස හැඟේ. මින් එකක් හෝ නිවැරදි නොවේ යැයි කිව නොහැකිය. නමුත් මෙයින් එකක් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා මඟ පෙන්වන අතර අනෙක වැරදි ප්‍රතිපත්තීන් සඳහා හේතුවේ. එසේ වන්නේ ඇයි? වර්ධන න්‍යාය සඳහා වන විසිවන සියවස් ප්‍රවේශය වර්ධන ක්‍රියාවලියේ යෙදවුම් පිළිබඳ අවධානය යොමුකරනු ලබයි. මෙම යෙදවුම් අප සංයෝග කරන්නේ නම් එය නිමැවුම් ලැබීඹට හේතුවනු ඇත. ආර්ථික පරිසරය පිළිබඳ ස්මිත්යානු ප්‍රවේශයේ දී මෙය වර්ධනය සඳහා හේතු සාධක වේ. ස්මිත්ගේ කියමන් බැලීමේ දී ආර්ථික නිදහස ඇති පරිසරයක් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතුසාධක වනු ඇත. වෙළෙඳපොළ යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කරන නිෂ්පාදන ශ්‍රිතාත්මක ප්‍රවේශය, අනෙකා සඳහා අගය නිර්මාණය කිරීමට සම්පත් සංයුක්ත කිරීමට ජනතාව දිරිගනුවනු ලැබේ.

නිමැවුම් එළිදැක්වීමට යෙදවුම් අත්‍යාවශ්‍ය වේ. නමුත් නිවැරදි ප්‍රොත්සහන රහිතව, අවසාන නිමැවුම් ලබා ගන්නා ක්‍රියාවලියේ දී මුල් යෙදවුමට වඩා අගයෙන් අඩු වටිනාකමකින් යුතු නිමැවුමක් ලබා ගැනීම වඩා පහසුය. වෙළෙඳපොළ ආර්ථිකයක දී ධනය වර්ධනය කිරීම සඳහා එම නිෂ්පාදන යොදා ගනී. මන්ද ආයතන සිය යෙදවුම්වලට වඩා වටිනාකමින් අඩු නිමැවුම් නිෂ්පාදනය කරන්නේ නම් ඔවුන් අලාභ ලබා ව්‍යාපාරයෙන් ඉවත්වන බැවිනි. මධ්‍යගත සැලසුම්කරණ ආර්ථිකයක දී මෙම වැරදි ලෙස මඟ පෙන්වන නිමැවුම් අකාර්යක්ෂම නිෂ්පාදන සංවිධානගත කිරීම් සඳහා රජයකට දිගින් දිගටම කටයුතු කළ හැකිවේ. ඔවුන් සමහරවිට සිය සම්පත් නාස්ති වීමක් සිදුවන බව නොදන්නවා විය හැකිය. වෙළෙඳපොළ ආර්ථිකයේ රාමුව තුළ පමණක් සම්පත් විභජනය කරනු ලබන ආකාරය නිශ්චිතවම නියෝජනය වනවාද යන්න නිසැකවම අවබෝධ කර ගන්නට අසමත් ආර්ථක්‍රමවල දී නිෂ්පාදන ශ්‍රිත පාදක කරගනිමින් සංවර්ධන ප්‍රතිපත්ති සකස් කරනු ලබන ප්‍රතිපත්ති සම්පාදකයින් කටයුතු කරයි.

ආර්ථික වර්ධනය සඳහා පරිසරයේ උපකාරය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ස්මිත්යානු සංකල්පයේ දී යෙදවුම් කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. කෙසේ වෙතත් ස්වාධීන ආර්ථික පරිසරයක් තුළ කටයුතු කරන්නට පමණක් ඉඩ ඇති විට සම්පත් විභජනය ඵලදායී ලෙස සිදුවීමට වෙළෙඳපොළ තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක බව ස්මිත් හඳුනා ගත්තේය. රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රාග්ධනය නිර්මාණය සඳහා අවධානය යොමු කරනු නොලැබේ. තාක්ෂණය ස්ථාපිත කිරීම, කුසලතාවන්ගෙන් පිරි ශ්‍රම බලකායක් බිහිකිරීම වෙනුවෙන් එය උපකාරී වේ. ආර්ථිකය විසින් ආයෝජන ආකර්ශනය කර ගනිමින් ශ්‍රමිකයන් සඳහා වෙළෙඳපොළට අදාළ කුසලතා වර්ධනය කර ගැනීමටත්, නවීන තාක්ෂණය තවදුරටත් ලබා ගැනීමටත් යන ප්‍රොත්සහන දෙකම ලබා දීමට ක්‍රියා කරයි. නිවැරදි පරිසරයක් විසින් නිවැරදි යෙදවුම් හඳුනා ගනී. නමුත් නිවැරදි යෙදවුම් ලබා දීම තුළින් නිවැරදි පරිසරයක් නිර්මාණය කෙරෙන්නේ නැත. ආර්ථික ස්වාධීනත්වය සහිත පරිසරයක් බිහිකිරීමෙහිලා වර්ධනීය ප්‍රතිපත්ති අවධානය යොමු කරන්නේ නම්, වර්ධනය ඒ මඟ යනු ඇත. නිවැරදි පරිසරය නොමැතිව, වර්ධනය බිහිනොවනු ඇත.

නිදහස හා වර්ධනය සම්බන්ධ සාක්ෂි

ආර්ථික නිදහස හා ආර්ථික වර්ධනය අධිකව පැවතිමේ දී සම්බන්ධිත සාමාන්‍ය සාක්ෂි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව කොරියාව කොටස් දෙකකට බෙදුණි. මෙහිදී දකුණු කොරියාව වෙළෙඳපොළ අභිමුඛ ආර්ථිකයකට යොමු වූ අතර උතුරු කොරියාව මධ්‍යගත සැලසුම් ආර්ථිකයකින් ක්‍රියාත්මක විය. මෙය ලියන මෙම මොහොත වන විට බොහෝ උතුරු කොරියානුවන් සිය ආර්ථිකය කඩා වැටෙමින් පවතින බව තේරුම් ගෙන ඇත. එහෙත් දකුණු කොරියාව ලොව වේගයෙන් වර්ධනය වන ආර්ථික අතර මුල් තැනට පත්ව තිබේ. මෙවැනිම සිදුවීමක් දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනියේ දෙකඩ වීමත් සමඟම දැකගත හැකිවිය. නැගෙනහිර හා බටහිර ජර්මනිය ලෙසින් බෙදුණු එහිදී නැවත වරක් එක් ආර්ථිකයක් වෙළෙඳපොළ නැඹුරු ක්‍රමයටත් අනෙක මධ්‍යගත සැලසුම් ආර්ථිකයටත් යොමුවිය. දශකයකටත් අඩු කාලයක දී නැගෙනහිර හා බටහිර ජර්මනිය අරඅදිමින් සිටි තුන්වන ලෝක යුද්ධයක ප්‍රධාන තරඟකරුවන් විය. අවසානයේ දී නැගෙනහිර ජර්මනිය කිසිදු වෙඩිල්ලක් පත්තු නොකරම බටහිර ජර්මනියට අවනත වූයේ බටහිර ජර්මනි අර්ථ ක්‍රමය විසින් ලබා දුන් වාසි නැගෙනහිර ජර්මනි වැසියන්ද ඉල්ලා සිටි බැවිනි.

 

පැරණි සෝවියට් සංගමය, ඉතා බරපතළ වර්ධනයක නිෂ්පාදන ශ්‍රිතාත්මක ආකෘථියකින් යුක්ත වූවකි. පසුකාලීනව මෙකී අධිරාජ්‍ය විසින් මෙම ආකෘතියේ සීමාකාම් පිළිබඳව විශේෂිත නිදසුන් සැපයීමට සමත් විය. එය බහුල වශයෙන් බෞතික හා මානව ප්‍රාග්ධනයෙහි ආයෝජන කරමින් ඉහළ පුහුණුවකින් හෙබි හා උගත් ශ්‍රමබලකායක් බිහිකිරීමට කටයුතු කළේය. එසේම එය පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කළ අතර විද්‍යාවේ හා ඉංජිනේරුකරණයේ විශිෂ්ට තෝතැන්නක් බවට පත්විය. සිය ප්‍රාග්ධන හා මානව සම්පත් යෙදවුම්වල ප්‍රමිතිය හා ප්‍රමාණය ඉහළ නැංවීම තුළින් තාක්ෂණික වාසියක් නිර්මාණය කර ගැනීමට ඊට හැකිවුණි. මේ හේතුවෙන් නිෂ්පාදන ශ්‍රිතාත්මක ප්‍රවේශයට අනුව ලොව වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් අතර හොඳම ආර්ථිකයක් බවට සෝවියට් සංගමය පත්විය යුතුව තිබිණි. ඒ වෙනුවට එය උදාහරණ සැපයූවේ නිෂ්පාදන ක්‍රියාවලියට පමණක් වන යෙදවුම් ඉහළ නැංවීම තුළින් වර්ධනයක් අත්පත් කර ගත නොහැකි බව කියාපාමිනි. වැඩි වශයෙන් සිදුවන යෙදවුම්, නිමැවුම් වටිනාකම ඉහළ දැමීමට සමත්වන්නේ ආර්ථික නිදහසේ පරිසරයක් සමඟ සම්බන්ධ ඇති විටදීය.

සිය මෑත කාලීන සෞභාග්‍ය දෙස බැලීමේ දී ජපානය, තායිවාවනය, දකුණු කොරියාව, හොංකොං හා සිංගප්පූරුව වැනි ජාතීන් මීට දශක කිහිපයකට පෙර දුප්පත්ව සිටි බව පහසුවෙන් අමතක කිරීමට හැකිය. මධ්‍යගත සැලසුම්කරණයට හිතකරව වෙළෙඳපොළ ක්‍රමය මඟ හැරි සෝවියට් දේශය, චීනය හා ඉන්දියාව වැනි ආර්ථික දුර්වල විය. අද වන විට පෙරාතුව සමාජවාදී රටවල් ලෙස ක්‍රියාත්මක වූ රාජ්‍යයන් ආර්ථික නිදහස දෙසට තල්ලු වෙමින් පවතින අතර ඔවුන්ගේ ආර්ථිකයන් හි වර්ධනය ආරම්භ වී ඇත. මෙම සරල සාක්ෂි මගින් ආර්ථික නිදහස යනු කුමක්ද යන්න පිළිබඳ ගැටළුව තවදුරටත් ඉතිරි කර තිබේ. එසේම කොපමණ දුරකට එය ආර්ථිකයේ වර්ධනයට බලපාන්නේ ද යන්න විමසා බැලේ.

මෙම තත්ත්වය පිළිබඳ මෑතක දී සිදුකෙරුණු ශාස්ත්‍රීය අධ්‍යයනයන් ගණනාවකින්ම කරුණු පළ කර ඇත. වඩාත් ගැඹුරින් ආර්ථික නිදහස පිළිබඳව කෙරුණු විග්‍රහය ලෙසින් ෆාස්ටර් ආයතනය විසින් 1996 දී ප්‍රකාශයට පත් කරන ලද ජේම්ස් ග්වාට්නි, රොබට් ලෝසන් හා වෝල්ටර් බ්ලොක් විසින් රචිත ‘1975-1995 ලෝකයේ ආර්ථික නිදහස‘ කෘතිය දැක්විය හැකිය. ඔවුන් එහිදී ආර්ථික නිදහස පිළිබඳ වඩාත් ප්‍රබල සංඛ්‍යාත්මක මිනීම් සංවර්ධනය කර තිබෙන අතර ආර්ථික වර්ධනය සමඟ ශක්තිමත් ලෙසින් ඒවා බැඳෙන්නේ කෙලෙසද යන්න විග්‍රහ කර ඇත. අනෙකුත් ශාස්ත්‍රීය අධ්‍යයනයන්වල දීද මේ හා සමාන ප්‍රතිඵල ගෙන හැර පා තිබේ. ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා යෙදවුම්වල අවශ්‍යතාවය විසින් ආර්ථික නිදහසේ පරිසරයක් ආකර්ෂණය කිරීමට හේතු සපයන බව ඒවායින් කියැවිණි. බොහෝ අධ්‍යයන අනෙකුත් සාධක පිළිබඳව විශාල වශයෙන් අවධානය යොමු කළද එහි අවසානය ආර්ථික නිදහස පිළිබඳ මූලිකාංගවලින් යුක්ත විය.සියවසකට පසු ආර්ථික වර්ධනය පිළිබඳ න්‍යාය ඇඩම් ස්මිත්ගේ අදහස්වලින් ක්‍රමයෙන් බැහැර වන්නට පටන් ගෙන තිබේ.සෞභාග්‍ය සඳහා ආර්ථික නිදහස කෙසේද වැදගත් වන්නේ යන්න පිළිබඳව ආර්ථික විද්‍යාඥයින් යළිත් වරක් අවධානය යොමු කර ඇත.

ආර්ථික නිදහස හා දේශපාලන නිදහස

1989 දී නැගෙනහිර යුරෝපානු මධ්‍යගත සැලසුම් අර්ථක්‍රමවල බිඳ වැටීමෙන් පසු, 1991 දී සෝවියට් සංගමයේ අභාවයෙන් අනතුරුව, බොහෝ ජාතීන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී සංකල්ප පිළිබඳ ඉහළ උද්යෝගයක් දැක්වීය. බටහිර පන්නයේ සෞභාග්‍යයක් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ හේතුවන බව බලාපොරොත්තු විය. ඒ සඳහා අනුබලයක් බටහිර වැසියන් ලැබූවද, රාජ්‍ය නිර්බාධ ආර්ථික ආයතනවලට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගැන ඔවුන්ගේ උනන්දුව ඉහළ පැවතිණි. මෙහිදී විශේෂයෙන් වැදගත් වනුයේ දේශපාලන නිදහස හා සැසඳීමේ දී ආර්ථික නිදහස ලෙසින් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්නයි. එසේම මේ දෙකෙන්ම බලාපොරොත්තු විය හැක්කේ මොනවාද යන්නයි.ස්වකීය වටිනාකම බවට ප්‍රජාතන්ත්‍රවාදය පත්වෙද්දී, එම ප්‍රජාතන්ත්‍රවාදය, සෞභාග්‍ය කෙරෙහි කිසිදු දායකත්වයක් ලබා නොදෙන බවට සාක්ෂි ලබා දේ. ආර්ථික නිදහස තුළින් ආර්ථික වර්ධනයක් ලබා දුන්නද, දේශපාලන නිදහස තුළින් එසේ වන්නේ නැත.

මෙම සංකල්ප ද්විත්වය නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට විශේෂයෙන් වැදගත් වේ. මෙම රටවල වැසියන් බොහෝදුරට පසුවන්නේ කලකිරීමෙනි. සිය ආර්ථික තත්ත්වයන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වූ ජාතීන්ගේ දියුණුවක් දකින්නට නොමැත. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආපස්සට හැරීමට ඉඩකඩ වැඩිය. යළිත් වරක් ආඥාදායකත්වයකට අවස්ථාවක් එමඟින් නිර්මාණය වේ.

දේශපාලන නිදහස සීමාසහිත රටවල පමණක් ආර්ථික නිදහස, ආර්ථික දියුණුවට හේතු සාධක වන බව මෙමඟින් කියැවේ. මෙහි ප්‍රතිපක්ෂය නිවැරදි නොවේ. එනම් ආර්ථික නිදහස රහිත දේශපාලන නිදහස, දියුණුවක් ළඟා කර නොදේ. නැගී එන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් විසින් නිදහස් වෙළෙඳපොළ, දේපළ හිමිකම සුරැකීම, ස්ථායි විනිමයක් පවත්වා ගෙන යාම, ආර්ථිකයට සිදුකෙරෙන ආණ්ඩුවේ මැදිහත් වීම පහළ මට්ටමක පැවතීම යන කරුණු දිරිගැන්වීම වැදගත් කොට සලකනු ලබයි. එසේම ඉහළ ආදායමක් වාර්තා කරන ජාතීන්, ඉහළ ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් අයිතීන් පිළිබඳ දැඩි ආරක්ෂාව හා දේශපාලන නිදහස පිළිබඳ නිදසුන්ය. වක්‍රාකාරයෙන් ගතහොත් දේශපාලන නිදහස සඳහා ආර්ථික නිදහස හේතුවේ.

ආර්ථික නිදහසක් පවතින පරිසරයක් නොමැතිව දියුණුවක් නොපවතින බව මෙම කරුණු මගින් මනාව පැහැදිලි වේ. ආර්ථික නිදහස සංරචක කිහිපයක එකතුවකි. ආර්ථිකය වර්ධනය වීම සඳහා ඒවා සියල්ල එක් විය යුතුවේ. ආර්ථිකයක් ශක්තිමක් මූල්‍ය පද්ධතියකින්, පුද්ගලික දේපළ අයිතිය ආරක්ෂා කිරීම, අපක්ෂපාතී නීති පද්ධතියක්, පහළ මට්ටමේ බදු, අවම ආණ්ඩුකරණය හා ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා අවම බාධකවලින් යුක්ත විය යුතුය. මෙම සංරචකවලින් එකක් හෝ සම්පූර්ණ නොවන්නේ නම් එම ආර්ථිකය දියුණු වන්නේ නැත.